ආදරය බදා ගැනීම හා අත් හැරීම


ආදරය බදා ගැනීම හා අත් හැරීම.
__________________________________
ටිමී අප වෙත එන්නේ දෙදහස් දාහතේ ජූනි මාසයේ ය. ආසාදනයකට ලක්වී දස දිනක් රෝහල් ගත වී හිඳීමෙන් පසු නිතරම නාහෙන් අඬන්නියක බවට පත් වූ මට ඔහුගෙන් ලැබෙන " නාඬා හිටපං තෑග්ග"ටිමී ය. ටිමී මසක් වයසැතිව මවෙත එන්නේ ඉතා කරදරකාරී බලු සිඟිත්තෙකු ලෙස ය. රාත්‍රියේ වැළපීම අරඹන ටිමී වඩාගෙන සක්මනේ යෙදෙමින් සිටින්නට මට සිදු විය. අනතුරුව ගේ පුරා කැත කිරීම් ය. ආහාර ගන්නා තුරු ළඟට වී සිටින්නට සිදුවීම් ය. මගේ උකුලටම වී හිඳීමේ පුරුද්ද ය.නාන්නට බැරි බවට විලාප තැබීම් ය. ඩෝග් ෆුඩ් මිස කිසිවක් නොකා සිටීමේ ලොකු සීන් ය.
එහෙත් ටිමියා මගේ ප්‍රේමය බවට පත් විය. ඔහුගේ ගොන් බල්ලා බවට ද පත් විය. මා බලා ගන්නට රැගෙන ආ ටිමියා මට බලා ගන්නට සිදු විය. නිවෙසට එන ඕනෑම කෙනෙකුගේ කරේ යන ටිමියා ආරක්ෂකයෙකු නොව වෙනත් පට්ටමකට හිමිකම් දැරී ය.
ජම්බුවිලාවට පැමිණ මසක් ගෙවී යන කාලයක ගෘහ මූලිකයාගේ උපන් දිනය යෙදුණු රාත්‍රියේ ටිමී අතුරුදහන් විය. කුඩා සිදුරක් සහිත ගේට්ටුව පිළිසකර නොකිරීමේ වගකීමට බැනුම් අසමින් ගෘහ මූලිකයා උපන් දිනය ගෙවා දැමූවේ ය. මම ඔහුගේ උපන් දිනය අමතක කර දවසම කඳුළු පෙරමින් සිටියෙමි. ටිමී සොයා ගන්නට හැකි වූයේ නැත. සෙවීමේ හමුදාව වූ මස්සිනා හා ඔහුගේ මිතුරුකැල දවස් කිහිපයකට පසු මෙහෙයුම් අත්හැර දැමූ හ.
"අක්කේ.. අක්කලගෙ බල්ලා වගේ එකෙක් මේ ළඟ ගෙදරක ඉන්නවා. එන්න යං"
මාස ගණනකට පසු ඒ ඇරයුම ආවේ අසල්වැසි මලයෙකුගෙනි. ඔහු නිවැරදි ය. ටිමී ඒ නිවසේ සැටියට වී උඩඟුව බලා හුන්නේ ය.
"ටිම්ලි බෝලේ. එන්න රත්තරං ගෙදර යන්න"
ටිමියා බුරා හැලෙන්නට විය. ඒ බිරීම මම කඳුළු සහිතව විඳ ගතිමි. තව දුරටත් ඌ ටිමියා නොවන බවත් බෲනෝ වන බවත් මට කීවේ ඒ නිවසේ පොඩ්ඩන් ය.
ඉතින් බෲනෝ ටිමියාව හුන් කාලයේ ඌට අයත් වෛද්‍ය කාඩ්පත් ද ඉතිරිව තිබූ ඩෝග්ෆුඩ් මල්ල ද බෲනෝගේ අයිතිකාරයන්ට දී මම සිත හදා ගන්නට වෙර ගතිමි.
ආදරය යනු කොහේ හෝ සතුටින් සිටීමට ඉඩ හැරීම යැයි මට ඉගැන්වූයේ ටිමී ය.
"ටෆී" ගෙදරට ආවේ ගිය අගෝස්තුවේ දී ය. ගෘහ මූලික තෙමේ ඔහුගේ බිරිඳගේ කුලුඳුල් පොතට දුන් ත්‍යාගය යැයි කී ටෆියා පෙට්ටියක මුල්ලේ ගුලි වී සිටියේ ය.
"සති තුනයිලු. හදන්න ට්‍රයි කරමු"
ළදරු ටෆියා ඩෝග් ෆුඩ් පමණක් නොව කිරි ද ප්‍රතික්ෂේප කර බත් ඉල්ලා සිටියේ ය. රාත්‍රියේ ඇඳ ඇතිරිල්ලෙන් අදිමින් කෙඳිරි ගෑ වහා එළියට රැගෙන ගිය විට ශරීර කෘත්‍යයන් ඉටු කළ අතර ගේ පුරා කැත කිරීමක් නොවී ය. ඉඳහිට අමන වැඩකට බැනුම් ඇසූ විට හුන් තැනම මුත්‍රා කරන තග් ලයිෆ් එකක් පමණක් ටෆියා ට ඇත. වඩාගෙන හුරතල් කිරීම් ටෆියාට දිරවන්නේ නැත. නිවසට එන මිනිසුන්ට කඩා පනිමින් එහෙමත් කෙනෙකුට පමණක් සෙනෙහස පාන ටෆියාට ගේ ඇතුළට වී සිටීම දිරවන්නේ නැත. එළියට වී ගේට්ටුව දෙස ඇස් ගසාගෙන සිටීම උගේ පුරුද්ද ය. දැඩි අසනීපයකින් නිදා සිටි දිනක දී මා අවදි වූයේ ටෆියා දෑසේ කඳුළු පුරවාගෙන අත ලෙවකන විට ය. ගෙදර ඇත්තන් මැරෙන්නට වැටී සිටින විටෙක පවා කන්නට දෙන තුරු පස්සෙන් වැටීම ටිමියාට හුරු වුව ද ටෆියා ඉවසිලිවන්ත ය.මා අසනීප නම්, මණ්ඩලය කචල් කරගෙන කෑම වර්ජිත දවසක් නම් ඌටද ආහාර ඕනෑම නැත.
ටෆියාට වචනයෙන් ආදරය ඕනෑ නැත. බොරු සෙනෙහෙවන්තකම් ඕනෑ ද නැත. එහෙත් ඌ කිසිවක් බලාපොරොත්තු නොවෙමින් මහා ආදරයක් මට පුදන්නට මනාප ය. අර ගේට්ටු සිදුර තවමත් එසේම ය. ඉඳහිට එතනින් එළියට ගොස් පෙම්වතියක හා මුකුළු කර ගැම්මෙන් පැමිණීම විනා මා අතැර යන්නට ටෆියා ට උවමනාවක් නැත.
ආදරය හට ගන්නේ කිසිවක් බලාපොරොත්තු නොවන තැනක බව ඒ කුඩා දීප්තිමත් දෑස මට දිනපතා උගන්වමින් හිඳියි.

No comments