සතුට හොයන මන්තරේ


සතුට හොයන මන්තරේ.
_________________________
ඇහැට පේන කිසිම දේකින් සතුටු නොහිතෙන, ඇහෙන දකින හිතෙන හැම දෙයක්ම අඬන්න හේතු කාරණා විදියට නිර්මාණය වෙන නපුරු නරක දවස් ජීවිතේට ඕනෑ තරම් එනවා. ඉතින් අන්න එහෙම දවසට ඕන "සතුට හොයන මන්තරයක්"
සතුට කියන්නේ හිතට මිහිරිම හැඟීමක් දෙන දේට. වැඩියෙන්ම ආදරේ දේවල් හොයා ගැනීම. ඒ තමයි සතුටට හේතුව.
උදේ එලාම් එක වැදෙන්නේ අලුත් දවසකට. ඒ ඇහැරුණු හැටියෙම හිතන්න ඕන එලාම් එකත් මට ආදරෙයි නේද?? " මට ආදරේ නිසා නේද මාව වෙලාවට ඇහැරවා ගත්තේ. නැත්නම් මගේ දවසම අපරාදෙ වෙනවනෙ"
උදේ හරිම හදිසියේ උයන ව්‍යාංජන බොහොම රසවත් වීම තවත් සතුටක්. "මගේ කුස්සිය මට ආදරේ කරන නිසා තමයි ඉක්මනින් හුඟක් රසට කෑම උයන්න මට උදව් කරන්නේ" එහෙම හිතන හිතුවිල්ලකින් එන්නේ සතුට විතරමයි. ලස්සනට අතුගාපු මිදුල, හොඳට අස් පස් වුණු ගෙදර, අපූරුවට හේදුණු රෙදි සතුටු වෙන්න පුලුවන් ලස්සන කාරණා.
මිදුල පුරා මල් හිනාවෙන්නේ ආදරේ අරගෙන, මිදුල කෙළවරක තියන කුරුලු ලෑල්ලට එන කුරුල්ලෝ කියන්නේ ආදරේ තියන මිහිරියාව ගැන.ගෙදර ඉන්න පුංචි බලු පැටියාගේ ආසම කෑම එයාට දෙන වෙලාවට වේගෙන් වනන වලිගය කියන්නේ අවංකම ආදරේක කතාව.
අපි ආදරේ හොයන්නේ ලොකු ලොකු හේතුන් හදාගෙන. අපි සතුට හොයන්නේ නොලැබෙන දේවල් මත්තේ හිතමින්.
ඒත් ලොකුවට නොහිතා පුංචි පුංචි කාරණාවලින් හිත සනසගන්න අපිට පුලුවන් නම්..
"සන්තෝසෙ තියෙන්නේ හරිම පුංචි දේවල් ඇතුළේ"

No comments