අම්මාගේ ඉව


අම්මාගේ ඉව
_______________
පෙරදා රාත්‍රිය ගෙවී ගියේ නිදි වර්ජිත ය. වසර කිහිපයකට පසු මහා ගැම්මකින් යළි ඉගෙන ගන්නට පටන් ගත් මට නිවසක පරිපාලනය ද සමඟ එය කිරීම අසීරු බව හැඟිණි. අනතුරුව සිදු වූයේ පොත් පත් ඉවත් කරමින් ඉකි බිඳීම ය. අරමුණු හඹා යාම අසීරු බව කියමින් ඒ ඉකිය හැඬුමක් දක්වා දුර ගෙන යාම ය.
ඔහු මා නළවා ගත්තේ අසීරුවෙනි. මීට වසර ගණනකට පෙර අම්මාගේ සෙවණේ හිඳිද්දී ඉගෙන ගන්නට තිබූ කාලය ප්‍රේමයක දිය කර ගැනීම ගැන ඉකිලමින් අම්මාට මේ දැන් අමතන්නට ඕනෑ බව කියමින් පෙරළි කළ පැය කිහිපය අවසන් වූයේ අසනීප වීමෙනි.
උයමනේ නොයෙදුණු ඇඳේ ගුලි වී හුන් උදෑසනේ අම්මාට ලබා දෙන "ගුඩ් මෝනිං කෝල් එක" මඟ හැරුණු අතර සුපුරුදු වෙලාව මඟ හැරී තත්පර කිහිපයකින් අම්මා මා ඇමතුවා ය.
"පුතා හොඳින් ද.."
කිසිදු ගැටලුවකින් තොර බවට රඟ පාන්නට ගත් උත්සාහය සාර්ථක වීම නොවීම ගැන තවම මම නොදනිමි. එහෙත් අම්මා පෙරදා රාත්‍රියේ මා ගැන බියකරු සිහිනයක් දුටු බව ද "මට දැන් පුතාව බලන්න යන්න ඕනෑ "කියමින් හැඬූ බව ද ඇය මට හෙළි කළා ය.
"අම්මා කීයට විතරද දැක්කෙ හීනේ" මම අසන්නෙමි.
"රෑ දෙකට විතර පුතේ. මට ඔයාට කෝල් කරන්නත් හිතුණා. මේ රෑ දරුවො ඇහැරවන්න එපා බය වෙයි කියලා තාත්තා සැර වුණා"
අම්මා හිනැහෙන්නී ය. ඒ මොහොතේ මා ද හුන්නේ නුවුමනා කාරණයකට වැළපෙමින් බව මම ඇයට නොකීවෙමි. එහෙත් ඇයට සිහිනයකින් හෝ මට පීඩාවක් බව දැනී ඇත.
ප්‍රේමයක පැටලුණු විට "මට දැන් එළවළු රොටියක් කන්න හිතුණනෙ බබා" යැයි එන කෙටි පණිවිඩයකට පවා "මටත් එහෙමම හිතුණා. කොහොමද අපි දෙන්නගේ කෙමෙස්ට්‍රිය " යැයි පෙම් බස් දෙඩූ දින අපමණ ය.
එහෙත් කෙමෙස්ට්‍රිය ඇත්තේ අම්මලාට ය. දරුවන්ට හිත් රිදුමක්, පීඩාවක් ඇති විට සිහිනයෙන් පවා කම්පිත වන්නී ඈ ය.

No comments