JOB VACANCY Srilanka


උපාධි ධාරියෙක්ද? රැකියා විරහිතද? පෞද්ගලික අංශයට කැමතිද? එහෙනම් මේක කියවන්න..

මේ ලිපිය දිගයි. ඒ නිසා ආවරණය වන ප්‍රධාන උප මාතෘකා ඉස්සෙල්ලම දාන්නම්. වැදගත් කියලා හිතෙනවා නම් පමනක් කියවන්න.

    පලමුවෙන්ම - පෞද්ගලික අංශය ඔබට ගැලපේදැයි සිතන්න
    දෙවැනිව - රැකියාවක් නොසොයන්න, වෘත්තියක් හඳුනාගන්න
    තුන්වැනිව - හඳුනාගත් වෘත්තියෙහි නියැලීමට ඔබගේ උපාධිය ඔබව සූදානම් කොට ඇතිදැයි සොයා බලන්න.
    සතරවැනුව -  ඔබ හඳුනාගත් වෘත්තියේ නියැලීමට සුදුසු, වේගයෙන් වර්ධනයවන සමාගම් හඳුනාගන්න.
    පස්වැනුව - ඒ සෑම සමාගමකම බඳවාගැනීමේ / මානව සම්පත් අංශයේ තොරතුරු සොයාගන්න.
    සයවැනුව - පොරොත්තු අයදුම්පතක් යවන්න සූදානම් වෙන්න
    සත්වැනුව - CV ද? Resume ද? නිවැරදිව අයදුම්පතක් සකසන හැටි ඉගෙන ගන්න.
    අටවැනුව -  හොඳ සී.වී එකක හෝ රෙසියුමේ එකක තිබිය යුත්තේ මොනවාද? නොතිබිය යුත්තේ මොනවාද?

පලමුවෙන්ම - පෞද්ගලික අංශය ඔබට ගැලපේදැයි සිතන්න;

ඔබ පෞද්ගලික අංශයට කැමතිදැයි සැබැවින්ම සොයා බලන්න. ස්වයං අධ්‍යයනයක් කරන්න. තවත් වසර 5ක් ඉදිරියට බලන්න. මේ වැඩේ අවංකවම කරන්න.

A - ඔබ කැමති වැඩ වැඩි, නිවාඩු අඩු, විනාඩි 15-20ක කෑම පැයක් ඇති, වගකීම් වැඩි, ආදායම වැඩි, ක්‍රියාශීලීව වැඩ පෙන්වා උසස්වීම්-ඉන්ක්‍රිමන්ට් ගතහැකි, වැඩ පෙන්නුවේ නැතිනම්-ක්‍රියාශීලී නැතිනම් එකතැන පල්වෙන, දරුවාගේ පාසැලේ දෙමව්පිය රැස්වීම් පවා නිතර අතපසු වෙන, වෙඩිං ඇනිවසරි දවසේවත් කලින් ගෙදර එන්නට/නිවාඩුවක්,  ගන්නට බැරි රැකියාවකටද?

බෝඩ් මීටින් තියෙන දවසක්, මැනේජ්මන්ට් මීටින් තියෙන දවසක්නම්, සහලවලා උණ තිබුණත් පැය හතරකට වරක් පැනඩෝල් දෙක ගාණේ ගිලලා කොහොම හරි ඔෆිස් ගිහින් අඬහපු ගමන් ෆයිල් උස්සගෙන යන්න ලෑස්තිවී ඉන්න සිද්දවෙන රස්සාවකටද?

නැතහොත්


B - අඩු වැඩ, අඩු පඩි, වැඩි නිවාඩු, වගකීම් නැති, අයිතිවාසිකම් ගොඩක් ඇති, රෑ නිදිමරාගෙන පාඩම් කොට විභාග පාස්වෙලා මිස වැඩපෙන්නා උසස්වීම් ලබාගත නොහැකි, නිවීහැනහිල්ලේ කාලා ඇලට් එකක් දාන්නට පැය දෙකක කෑම පැයක් ඇති, අවුරුද්දකට පඩි සහිතව දින 41ක් නිවාඩුත්, ගණුදෙනුකරුවන්, සේවාලාභීන් කොතරම් රස්තියාදුකලද කිසිදු කරදරයක් නොවන රස්සාවකටද?

ඔබ අවංකවම ඉන්නේ B පැත්තේ නම්;

කොම්පැණිවලට ඇප්ලිකේෂන් දාන්නේ ආණ්ඩුවේ ජොබක් සෙට්වෙනකම් රන් එක දීගන්නට නම් ඔබට කිසිම දිනක තෘප්තිමත්ව කල හැකි පෞද්ගලික අංශයේ රැකියාවක් ලැබෙන්නේ නැත.

පෞද්ගලික අංශයේ රැකියා වෙහෙසකරය, වගකීම් බහුලය, අවිවේකීය, වැරදුනොත් බැනුම් අසන්නට විය හැකිය.  රෑ 10ටත් බොස්ගෙන් කෝල් එකක් ආවොත් අරගෙන ආන්සර් කල යුතුය. ඒ කෝල් එක එනවිට ඔබ බිරිඳ සමග $$@@##  කරමින් සිටින්නටද පුලුවන.

දෙවැනිව - රැකියාවක් නොසොයන්න, වෘත්තියක් හඳුනාගන්න;

රැකියාවක් නොසොයන්න. ඔබට ගැලපෙන, ඔබගේ සහජ දක්ෂතාවයන් ගෙන් වැඩක් ගත හැකි වෘත්තියක් හඳුනාගන්න.

ඔබ හොයන්නේ රැකියාවක් නම්, උපාධිධාරී ඔබ පෞද්ගලික අංශයට නොගැලපෙන්නෙකි.  පෞද්ගලික අංශය උපාධිධාරියෙකුගෙන් බලා පොරොත්තුවන්නේ මොනවා හරි කුරුටුගගා සිට මාසේ අන්තිමට පඩිය ගන්නට බලා සිටීම නොවේ.

වසර කිහිපයකදී වගකීම් සහිත නිළයක් දැරීමට සුදුසු වෘත්තිකයෙක් බවට ඔබව පත්කල හැකි/පුහුණුකල හැකිබවට ඔබ ඔබටම මෙන්ම ඔබගේ සම්මුඛ පරීක්ෂණ මඩුල්ලේ සාමාජිකයින්ටද ඔප්පුකල යුතුය.

පෞද්ගලික අංශයේ රැකියා කියා දේවල් තියෙන්නේ අඩු සුදුසුකම් ඇති, අඩුපඩි ලබන, අඩුකුසළතා අවශ්‍ය කාර්යයන් සඳහාය. පියන්, ක්ලාර්ක්, ඩ්‍රයිවර්, රෙසෙප්ෂනිස්ට්, සේල්ස්මන්, ෂෝරූම් ඇසිස්ටන්ට්, ඔෆිස් ඇසිස්ටන්ට්, කැෂියර් වගේ ඒවා ජොබ් හෙවත් රැකියාවේ. ඔබගේ අභිලාෂය හොඳ පඩියක් එන රැකියාවක් නම් පෞද්ගලික අංශය ඔබට අමිහිරි, අතෘප්තිමත්, පීඩාකාරී අත්දැකීමක් වනු ඇත.

ඔබ උපාධිධාරියෙකි. එබැවින් ඔබ සෙවිය යුත්තේ ඔබගේ උපාධියට, සහජ කුසළතාවලට හා රුචිකත්වයට/පෞරුෂයට අදාල වෘත්තියකි.

තුන්වැනිව - හඳුනාගත් වෘත්තියෙහි නියැලීමට ඔබගේ උපාධිය ඔබව සූදානම් කොට ඇතිදැයි සොයා බලන්න.

එම වෘත්තියේ ඇති වගකීම් පිලිබඳව ගූගල් සෙවුම් කොට දැනුවත් වන්න. ඇවැසි කුසළතා පිලිබඳව දැනුවත්වන්න. අවශ්‍ය අමතර සුදුසුකම්, වෘත්තීය සහතිකකරණය (professional certification. E.g Chartered Accountancy) යනාදිය පිලිබඳව දැනුවත් වන්න. හැකිනම් එවැනි අධ්‍යාපන ආයතනවලට බැඳී ඒවා හදාරන්න පටන්ගන්න.

උපාධියට නොගැලපෙන වෘත්තියකට අයදුම් කිරීම, අයදුම්පත ප්‍රතික්ෂේපවීම හෝ සම්මුඛ පරීක්ෂණයේදී කැපීයාමට හේතුවනු ඇත.

උදාහරණයක් කියන්නම් :අපගේ කළමණාකරණ පීඨයට නවක ආචාර්යවරුන් බඳවාගන්නා බවටවූ දැන්වීමකට අයදුම්කල එක් තරුණයෙකුගේ උපාධිය වූයේ "BSc in Agricultural Management" විද්‍යාවේදී උපාධියයි. රජයේ විශ්වවිද්‍යාලයකින් ඒ උපාධිය දිනාගත් ඔහු උසස්පෙලට හදාරා තිබුණේ ජීව විද්‍යාවයි. එමෙන්ම උපාධියේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක පරීක්ෂාකිරීමේදී කළමණාකරණ විශයට අදාල පාඩම් මාලා කිහිපයක් පමණක් තිබූ අතර වැඩිහරියක් තිබුනේ කෘෂිකර්මාණ්තයට අදාල පාඩම්මාලාය.

එහෙත් ඒ තරුණයාට අවශ්‍යවූයේ කළමණාකරණ උපාධි පාඨමාලා උගන්වන කළමණාකරණ පීඨයේ ආචාර්ය තනතුරකි. එයට ඔහු නුසුදුස්සෙකු බව ඔහුටම වැටහිය යුතුනේද?

Agricultural Management උපාධියක් තිබෙන නිසා ලංකාවේ සුප්‍රකට කෘෂිකර්මාණ්ත හා වතුපාලන සමාගම් කිහිපයක නම් කියා ඒවාට අයදුම් කරන්නේ නැත්තේ ඇයිදැයි ඇසූවිට ඔහුට පිලිතුරු දෙකක් විය. 1] කොළඹ රස්සාවක් ඕනෑ. ප්ලාන්ටේෂන් කොම්පැණිවල ජොබ් දෙන්නේ අවුට්-ස්ටේෂන්වලනෙ. 2] මම කෘෂිකර්මාණ්තයේ ජොබ් වලට ආස නෑ.

බලන්න; රුපියල් මිලියනයක් විතර වැයකොට, රටේ කෘෂිකර්මාණතයේ අභිවෘද්ධියට දායකවිය හැකිවන ලෙස බිහිකල කෘෂිකර්මාණ්ත කළමණාකාර විද්‍යාවේදී උපාධිය ඇති, මහඉල්ලුප්පල්ලම, බතලගොඩ, ගන්නෝරුව වගේ තැන්වල ප්‍රැක්ටිකල් ට්‍රේනින් කල මේ මනුස්සයා කෘෂිකර්මාණ්තයට අකමැතියිලු. එයාට ඕනෑ කොළඹ ඉඳන් මැනේජ්මන්ට් උගන්වන්න. ඉතින් හරියයිද?

සතරවැනුව -  ඔබ හඳුනාගත් වෘත්තියේ නියැලීමට සුදුසු, වේගයෙන් වර්ධනයවන සමාගම් හඳුනාගන්න.

මෙවැනි සමාගම් අඩුම ගණනේ 20කවත් ලැයිස්තුවක් ඔබ සකසාගත යුතුය. ඒ සෑම සමාගමක් පිලිබඳවම තොරතුරු ඔබ ලිපිගොණුවක සටහන්කර ගත යුතුය.

එම සමාගම් වල වෙබ් අඩවිවල විශාල තොරතුරු රැසක් ඇති අතර, එමෙන්ම පොදු සමාගම් නම් ඒවායේ වාර්ෂික වාර්තා අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැකිය. ලැයිස්තුගත පොදු සමාගම් වල වාර්ෂික වාර්තා හා කාර්තු වාර්තා සියල්ලම කොළඹ කොටස් වෙළඳපොල වෙබ් අඩවියෙන් බාගත හැකිය.

මේ තොරතුරු අධ්‍යයනය කරන්න. ආයතනයේ ප්‍රධාන භාණ්ඩ/සේවා ගැන දැනුවත්වන්න. ඔබ එම ආයතනයේ පර්යේෂණාගාරයේ පර්යේෂක හෝ තත්වපාළක වෘත්තියක් බලාපොරොත්තු වුනත් කමක් නැත. ආයතනයේ ප්‍රධාන භාණ්ඩ, සේවා, නිෂ්පාදන ගැන දැන සිටීම ඉතාමත් වැදගත්ය.

මැනිලා ෆයිල් කිහිපයක් මිළදිගෙන ඒ සෑම සමාගමකටම ලිපිගොණුව බැගින් සකසා ගන්න. මේවා කාළය ගතවන, එහෙත් එතරම් වියදමක් යන වැඩ නොවේ. බොහෝ තොරතුරු ඔබගේ ස්මාර්ට්ෆෝනයෙන්ම ලබාගත හැකිවනු ඇත.

පස්වැනුව - ඒ සෑම සමාගමකම බඳවාගැනීමේ / මානව සම්පත් අංශයේ තොරතුරු සොයාගන්න.

බොහෝ සමාගම්වල වෙබ් අඩවිවල; Careers, Work for us, Join us, Join our team, We are hiring now, HR Department යනුවෙන් බඳවාගැනීමේ අංශය වෙත ගෙනයන, සමහරවිට අයදුම් කල හැකි පුරප්පාඩු පෙන්වන වෙබ් පිටු දක්වා ඇත. පොරොත්තු අයැදුම්පතක් ඉදිරිපත්කල හැකි ඊමේල් ලිපින හා බඳවාගැනීමේ නිළධාරීන්ගේ නම් හා තනතුරු පවා සමහර වෙබ් අඩවිවල පෙන්වා තිබේ.

එවැනි තොරතුරු නැතිනම් වෙබ් අඩවියේ ඇති Contact Us හෝ About Us යන පිටුවෙන් ආයතනයේ දුරකථන අංක ලබාගෙන ඇමතුමක් දී මානව සම්පත් අංශයේ අයදුම්පත් එවිය හැකි ඊමෙල් ලිපිණය ලබාගත හැකිය.

එවැනි ඇමතුමක් දී තොරතුරු ගන්නා විට, බඳවාගැනීමේ නිළධාරීන්ගේ / මානව සම්පත් නිළධාරීන්ගේ නම/වාසගම හා නිවැරදි තනතුර අසාගැනීමට උත්සහ කරන්න. එහෙත් සමහර සමාගම් සිය නිළධාරීන්ගේ නම්/තනතුරු දුරකථන ඇමතුම තුලින් ලබා නොදෙයි. එවිට අඩුම ගණනේ අයදුම්පත යැවිය හැකි ඊමේල් ලිපිණය නිවැරදිව ලබාගන්න.

සයවැනුව - පොරොත්තු අයදුම්පතක් යවන්න සූදානම් වෙන්න

ඔබ තෝරාගත් ආයතනවල වේකන්සි පත්තරේ හෝ TopJobs.lk වල දමන තෙක් බලා සිටින්නට අවශ්‍ය නැත. බොහෝ සමාගම් වල මානව සම්පත් අංශ පොරොත්තු අයැදුම්පත් හෙවත් prospective application අදාල දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට යොමුකරයි. එවිට අවශ්‍යතාවයක් ඇතිනම් ඔවුන් කෙලින්ම ඔබට කතාකොට සම්මුඛ පරීක්ෂණයකට ආරාධනා කරනු ඇත. බොහෝ ආයතනවල පුරප්පාඩු මෙලෙස අයදුම්පත් එවන පොරොත්තු අයදුම්කරුවන්ගෙන් පිරවෙන බව සළකන්න.

සත්වැනුව - CV ද? Resume ද? නිවැරදිව අයදුම්පතක් සකසන හැටි ඉගෙන ගන්න.

අන්තර්ජාලය පිරික්සන විට විවිධාකාර CV හා Resume සකසන ආකෘති දැකගත හැකිය. මෙවැනි CV/ Resume ටෙම්ප්ලේට් MS වර්ඩ් වැඩසටහනේද ඇත. ඒත් ඒවා අමුවෙන් කොපි නොකරන්න. මේ බොහෝ ටෙම්ප්ලේට් ඇමරිකානු ආකෘතියේ වන අතර ඒවා අපට ගැලපීම අඩුවිය හැකිය.

CV හෙවත්  Curriculum vitae යනුවෙන් භාවිතා කරන්නේ ඉස්සර Bio Data යනුවෙන් හැඳින්වූ ආකෘතියයි. බ්‍රිතාන්‍ය ආභාශය ඇති රටවල CV භාවිතය ඉහල වන අතර ඇමරිකානු ආභාශය ඇති රටවල Resume භාවිතා වේ.

මොන නමකින් හැඳින්වුවත් ඔබ අයදුම් කරන සමාගමේ අයදුම් පත් පරීක්ෂාකරන්නන්ට, සම්මුඛ පරීක්ෂණ මණ්ඩළයට  එතරම් වෙනසක් නැත. ඒ නිසා සී.වී එකක් යවනවාද? රෙසියුමෙ එක යවනවාද කියමින් කරදර වෙන්නට උවමනා නැත. කෝකත් එකය. වැදගත් වන්නේ එය නිවැරදිව සකසා යැවීමයි.

අටවැනුව -  හොඳ සී.වී එකක හෝ රෙසියුමේ එකක තිබිය යුත්තේ මොනවාද? නොතිබිය යුත්තේ මොනවාද?

තනි පැත්තේ මුද්‍රණය කල A4 පිටු දෙකකට සීමා විය යුතුය. ඊමේල් කරන්නේ නම් MS වර්ඩ් පිටු දෙකකට සීමා විය යුතුය. MS Word හි අයදුම්පත ටයිප් කොට, PDF ආකෘතියෙන් Save කොට ඊමේල් කිරීම වඩා සුදුසුය.

1. ඉස්සෙල්ලම, වැදගත් ජීව දත්ත සඳහන් කරන්න.

ඡායාරූපය - අලුතෙන් ගත්ත පාස්පෝට් සයිස් චායාරූපයක් ඇතුලත් කරන්න. පරණ ඒවා, සෙල්ෆි ගන්නකොට ගත්ත ඒවා එපා

නම - පාවිච්චිකරන මුල් නම හා වාසගම
(තියෙන නම් ඔක්කොම දාන්න එපා - හැබැයි රස්සාව හම්බවුනාම උප්පැන්නේ තියෙන  / NID එකේ තියෙන සම්පූර්ණ නම පත්වීමේ ලිපියේ හා EPF/ETF කාඩ්වල දාගන්න අමතක කරන්න එපා)

ඕනෑ වෙලාවක වැඩකරන තමුන්ගේම ජංගම දුරකථන අංකය - සමහර ගෑණු ළමයි ගෙදර ලෑන්ඩ් ලයින් එක, තාත්තාගේ නොම්බරේ, හස්බන්ඩ්ගේ නොම්බරේ, බඳින්න ඉන්න කෙනාගේ නොම්බරේ දානවා.

නංගි ප්ලීස්, ඔයාට රස්සාවක් දෙන්න කතාකරන මනුස්සයින්ව රස්තියාදු නොකර ඔයාගෙ හරි මොබයිල් නොම්බරේ දාන්න. එයාලා කෝල් දෙන්නේ ලව් කරන්න නෙමෙයි.

නිතරම ඊමේල් චෙක් වෙන තමුන්ගේ නිවැරදි ඊමේල් ලිපිනය

උපන්දිනය, වයස, ෆොටෝ එකක් නැතිනම් ස්ත්‍රී පුරුෂ භාවය හා විවාහකද අවිවාහකද යන්න.

2. කැරියර් ඔබ්ජෙක්ටිව්, ලයිෆ් ඔබ්ජෙක්ටිව්, පර්සනල් ස්ටේට්මන්ට් අදාල නෑ.

සමහර වෙබ් අඩවිවල, රැකියා අයදුම් උපදේශන සේවාවල වගේම අන්තර්ජාල CV/ Resume ටෙම්ප්ලේට්වල career objective, life objective, personal statement වගේ එකක් උඩින්ම දාන්න කියලා උපදෙස් දෙනවා.

මම දන්න තරමට ඔය ඔබ්ජෙක්ටිව් කියවලා ඉන්ටර්විව් කෝල් කරන සිරිතක් ලංකාවේ නෑ. ඒ නිසා ඔබ්ජෙක්ටිව්, පර්සනල් ස්ටේට්මන්ට් හදන්න කාලේ වැය කරන්න එපා.

3.  ෆොටෝ එක හා ජීව දත්ත වලට පස්සේ රස්සාවට ගැලපෙන කොලිෆිකේෂන් දාන්න.

උඩින්ම දාන්නෙ තමුන් දිනාගත් ඉහලම සුදුසුකම. ඒ කියන්නේ ඩිග්‍රි එක.

    උපාධියේ නිවැරදි නම - උපාධි සහතිකයේ ඇති ආකාරයටම
    පන්ති සාමාර්ථයක් ඇතිනම් ඒ බව
    උපාධිය ලබාගත් විශ්වවිද්‍යාලයේ නම
    උපාධි  සහතිකයේ සඳහන් කොට ඇති වසර

ඊළඟට ගැලපෙන අනෙක් ඩිප්ලෝමා හා සහතිකපත්. සෑම කොලිෆිකේෂන් එකක්ම දානකොට ඉහත විස්තර අනිවාර්යෙයෙන් දාන්න.

උසස්පෙල, සාමාන්‍ය පෙල ප්‍රතිපල දාලා CV/Resume එක දිගු වෙන්න හරින්න එපා. වැඩක් නෑනෙ. උපාධිය තියෙනවා නම්, ඒ ලෙවල් ඕ ලෙවල් හරියට තියෙන බව හැමෝම දන්නවා.

4. කොලිෆිකේෂන් වලට පස්සේ රැකියා පුහුණු / ගැලපෙන ප්‍රායෝගික පුහුණු තිබේනම් දාන්න.

    පුහුණු කාළයේ දැරූ තනතුර - උදා: සීමාවාසික ගණකාධිකාරී පුහුණු
    දෙපාර්තමේන්තුව / අංශය - ගිණුම් හා මූල්‍ය
    සමාගම - කාගිල්ස් සිලෝන් ලිමිටඩ්
    කාළසීමාව - 2016 ජූනි සිට 2016 දෙසැම්බර් තෙක් මාස 6යි
    පුහුණුවේදී සිදුකල වැදගත් ක්‍රියාකාරකම් - වාර්ෂික ගිණුම් සකස් කිරීමට උපකාරී වීම, ඉදිරිවසරේ අයවැස සකස් කිරීමට සහයවීම, පිරිවැය දත්ත වාර්තා සැකසීම.

5. විශ්වවිද්‍යාලයේදී, පාසැලේදී දැරූ අමතර වගකීම් / ක්‍රීඩා / නායකත්ව කුසලතා / කළමණාකාර කුසලතා පිලිබිඹුවන ක්‍රියාකාරකම්

    විශ්විද්‍යාලයේදී ක්‍රීඩා සඳහා විශ්වවිද්‍යාලය හෝ පීඨය නියෝජනය කලේනම්
    විශ්වවිද්‍යාලයේදී විෂය ආශ්‍රිත සංගම්, සමාජවල දැරූ වගකීම් හා සිදුකල කාර්යයන් පිලිබඳ කෙටි විස්තර
    විශ්වවිද්‍යාලයේ ශිෂය නායකයෙකුව සිටියේනම් ඒ පිලිබඳ විස්තර හා වගකීම්
    දේශීය හා ජාත්‍යන්තර ශාස්ත්‍රීය සම්මණ්ත්‍රණවලට පත්‍රිකා ඉදිරිපත්කලේ නම් ඒ විස්තර
    පර්යේෂණ කෘතිවලට, පර්යේෂණ ග්‍රන්ථවලට දායකත්වයක් ලබාදී, ඒ වෙනුවෙන් එම කෘතිවල නම පලවී ඇතිනම් ඒ පිලිබඳ කෙටි විස්තර.

    පාසැලේ ශිෂ්‍ය නායක (Prefect), ප්‍රධාන/උප ශිෂ්‍ය නායක (Head Prefect / Head Girl) තනතුරු දැරුවේනම් ඒ පිලිබඳ තොරතුරු
    ක්‍රීඩා නායක (Sports captain) හෝ නිවාස නායකව (House captain) සිටියේ නම් ඒ පිලිබඳව තොරතුරු
    පාසැල් කැඩෙට් නිළධාරියෙකුව සිටියේ නම් ඒ පිලිබඳව තොරතුරු
    ජාතික, පලාත්, දිස්ත්‍රික්, කොට්ඨාශ ක්‍රීඩා ඉසව්වලට පාසැල නියෝජනය කරමින් සහභාගිවී ඇතිනම් ඒ තොරතුරු කෙටියෙන්.

උපාධිය තිබේනම් මේවා කවුරුවත් ගණන් ගන්නේ නෑ / මේවා වැඩක් නෑ යනුවෙන් වැරදි මතයක සිටින්නට එපා.

ඇයි මෙහෙම කියන්නේ?

උපාධිය තියෙනකොට ඉස්කෝලේ කෙහෙල්මල් මොටදැයි නොසිතන්න. ඔබ ශිෂ්‍ය නායකයෙකු, ක්‍රීඩා නායකයෙකු, කැඩෙට් නිළධාරියෙකු, දක්ෂ ක්‍රීඩකයෙකු නම් ඔබට පෞද්ගලික ආයතන ඉතා වැදගත් ලෙස සළකන නායකත්ව කුසළතා හා කණ්ඩායම් කුසළතා ඇති බව පෙන්වයි.

ඔබ උපාධිධාරියෙකු ලෙස රැකියාවක නිරතව නැතිනම්, මේ විස්තර ඔබ පිලිබඳව වැදගත් තොරතුරු සමාගමේ ප්‍රධානීන්ට ලබා දෙනවා.

මොනවාද ඒ තොරතුරු?

    නායකත්වය ගැනීමේ හා වගකීම් දරමින් යම් කටයුත්තක් කිරීමේ හැකියාව ඔබට ඇති බව.
    කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට, වගකීම් බෙදාගෙන සාමූහිකව ක්‍රියාකිරීමට, අනුන්ගේ මත ඉවසමින් ක්‍රියාකිරීමට හැකියාව ඔබට ඇතැයි පෙන්වනවා.
    ව්‍යාපෘතියක (සමහර විට පාසැලේ කල කුඩා සමාජසේවා කටයුත්තක් විය හැකියි) ආරම්භයේ සිට අවසානය දක්වා ගැටලු විසඳමින් ගෙනයන්නට ඔබට හැකියාව ඇති බව පෙන්වනවා
    ක්‍රියාශීලීත්වය පෙන්වනවා
    පීඩනයන් යටතේ ඉලක්ක හඹායාමේ හැකියාව පෙන්වනවා
    සුහදව අනුන්ගෙන් වැඩ ගැනීමේ හැකියාව පෙන්වනවා

දියුණුවන සමාගමකට ඔබගේ මේ කුසලතා ඔබ සිතනවාට වඩා බොහෝ වැදගත් වනවා. සමාගමේ ඉලක්ක ලඟාකරගැනීමට ඔබගෙන් හොඳ දායකත්වයක් ලබාගත හැකි බව මේ තොරතුරු ප්‍රධානීන් හට පෙන්වනවා.

උපාධියේ GPA 3.8ක් එක්ක ප්‍රථම පංතියේ සාමාර්ථයක් ඇති කෙනෙකුට වඩා පාසැලේ ක්‍රීඩාකල, ශිෂ්‍ය නායකයෙකුව සිටි, හැම වැඩක්ම කරගැසූ එහෙත් උපාධියේ GPA එක 2.0 ක් එක්ක සාමාන්‍ය සාමාර්ථයක් තියෙන, සමහර සබ්ජෙක්ට් යාන්තමින් C-මයිනස් එකකින් ගොඩදාගත්ත උපධිධාරියෙකුට රැකියාව ලැබීමේ අවස්ථා වැඩි බව අවධාරණය කරගන්න.

සමාගම් වැඩට ගන්නට කැමති උපාධිධාරී වන එමෙන්ම ක්‍රියාශීලී  තරුණ තරුණියන් මිස උපාධිධාරී පොත්ගුල්ලන් නොවේ.

ඒ වැනි අවස්ථාවලදී සමහවිට ඇබෑර්තුවක් නැතත් ඔබව කෙසේ බඳවාගන්න සමහර සමාගම් තනතුරු මවන බව කිව්වොත් ඔබ පුදුම වෙයි.

ඒත් ඒක ඇත්ත. හොඳ කොල්ලෙක්, කෙල්ලෙක්ගේ ඇප්ලිකේෂන් එකක් දැක්කොත්, එයාව අරගෙන අනාගතේ තැනකට ගන්න ට්‍රේන් කරන්න පුලුවන් කියලා හිතුනොත් හොඳ සමාගම් කොහොම හරි ගන්න තමයි බලන්නේ.

ලංකාව කියන්නේ මානව සම්පත අතින් දුර්වල රටක් බව මතක තබාගන්න. අනාගතය ගැන හොඳ සැළසුම් ඇති සමාගම් මේක දන්නවා. ඔවුන් උපාධිධාරීන් ගන්නේ අද ගැන හිතලා නෙමෙයි තව අවුරුදු 5ක් ඉස්සරට වගකීම් දෙන්න සැළසුම් කරලා.

ලංකාවෙද? කියලා අහන්න එපා. ඔව්!! මේ ලංකාවෙ එහෙම කොම්පැණි ගොඩක් තියෙනවා.

6. CV / Resume වලට නොදැමිය යුතු දේවල් / වැඩක් නැති දේවල්

දහම් පාසැල් විභාග සහතික නොදමන්න. ඉස්කෝලේ ප්‍රයිස් ගිවින් එකේ ගත්ත සබ්ජෙක්ට් තෑගි ගැන නොදමන්න. බෑන්ඩ් එකේ හිටියා යයි නොකියන්න.

හැබැයි ඉස්කෝලේ වාණිජ සංගමේ, විද්‍යා සංගමේ  වගේ සංගම්වල තනතුරු දැරුවානම් ඒ තනතුරුවල සිටියදී සිදුකල වැදගත් ව්‍යාපෘතිවල තොරතුරු එක්ක දාන්න. ඒ ව්‍යාපෘතිවල අවසන් ප්‍රථිපල දාන්න.

නැතුව "member of science society" , "secretary of commerce society" වගේ තොරතුරු නොදමන්න. ඉන් ඔබ ගැන වැදගත් යමක් නොපවසයි.

පංසලේ හාමුදුරුවන්ගේ රෙෆරන්ස් ලෙටර් අයදුම්පතට එකතු කරන්න එපා.

7. Referees දානකොට.

Non related (නෑදෑ නොවන ) රෙෆරීස්ලා ඉල්ලලා තිබුණොත් නෑයෝ දාන්නම එපා. මොකද කෝල් කරලා ඔයා, මේ අයදුම් කරු දන්නේ කොහොමද කියලා ඇහුවම "මම එයාගේ මාමා.." කියලා ඔයාගෙ රෙෆෙරී කිව්වොත් අනිව කැපෙනවා.

ඔයා ගැන හොඳට දන්න විශ්වවිද්‍යාලයේ ගුරුවරු, පාසැල් ගුරුවරු, ඉන්ටර්න්ෂිප් කරපු සමාගමේ ඔබගේ සුපර්වයිසර්ව දාන්න පුලුවන්.

ඔවුන්ගේ නම, තනතුර, සේවා ස්ථානය, දුරකථන අංක, ඊමේල් ලිපිණ නිවැරදිව සඳහන් කරන්න

ඉතා වැදගත් -  කාවහරි රෙෆරී විධියට දානවානම්, ඒ පුද්ගලයාට දැනුම් දීලා දාන්න. නොකියා රෙෆරී විධියට නම දාන්න එපා. සමාගමෙන් කෝල් කරනකොට අනවශ්‍ය පැටලිලි, අනවබෝධ ඇතිවෙන්න පුලුවන්.

8. Covering Letter එක

CV එකක් එක්ක කෙටි කවරින් ලෙටර් එකක් යැවීම අනිවාර්යයි. එය ව්‍යාපාරික ලිපි සකසන ෆෝමැට් එකෙන් සකසා ගත යුතුයි.

දිනය, ආමණ්ත්‍රණය, හෙඩිම (මාතෘකාව ) යනාදිය පිලිබඳව සැළකිලිමත් වන්න.

අනවශ්‍ය ලෙස දිගු කරන්න එපා. මාතෘකාව සැමවිටම ඔබ අයදුම් කරන තනතුර සඳහන් කරමින් ලිවිය යුතුයි.

සටහන - Susantha kumara

4 comments:

  1. නොදන්නා විස්තර කිහිපයක් දැනගතිමි. මේ ලිපියේ කරුණු පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එකකට යොදාගතහොත් බොහෝ අයට ප්‍රයෝජනයක් වේවි.

    ReplyDelete
    Replies
    1. ඉදිරියේ එහෙම කරමු.ස්තූති අදහසට...

      Delete
  2. ඉරටු මිටි කතාවේ ඉතරි ටික කෝ?

    ReplyDelete