ගමේ අත්තම්මා...

 








එදින අගෝස්තු මසක පලමු සතියේ ඉරු දිනක් වන බැවින් මම අම්මාගේ ගමට යාමට එදින උදෑසන තීරණය කළෙමි.එවකට මා 6 ශ්‍රේණියේ ඉගනුම ලබන ශිෂ්‍යයෙකි.

අගෝස්තු මාසය බොහෝ ළමුන්ට සරුංගල් අරින සුන්දර කාලයක් වූවත් සරුංගලයක් සෑදීමට ඉටිකොල, තන්ගුස් නූල් පංදු මිලට ගැනීම සදහා රු.150ක වත් වියදම්ක් දැරීම නාස්තියක් බව අම්මාගේ අදහස විය. එයද මාගේ අදහස කරගනිමින් මම අම්මාගේ ගමට යාම සතුට සොයා යන ගමනක් බව‍ට පෙරලා කරගතිමි.

උදෑසන 7 ට පමණ නිල් පාට තුන්කාලේ කුඩා බයිසිකලය මත නැගී ගම්මානය හරහා මා අම්මාගේ උපන් නිවහන කරා බයිසිකලය පදින්නට උණි.

එම බයිසිකලයේ මුල් අයිතිකරු මාගේම ලොකු අක්කා වන අතර පාවිච්චිය එතරම් නරකක් නොමැති බැවින් තරමක ඉහල පෙනුමක් හා තත්වයකින් යුතුව තිබුණි.එවක මාගේ පංතියේ එවැනි බයිසිකලයක් තිබුණේ මට ම පමණක් බැවින් අදටත් ඒ පිලිබදව තරමක ආඩම්බරයක් හිතේ නැතුවාම නොව.

ගමනට හිතෙහි තිබූ දැඩි ආශාව සහ කැමැත්ත නිසාදෝ මා ඉතා කෙටි කාලයකින් නිවසට ලගාවු අතර සයිකලය ගෙමිදුලේ දොරකඩට මුහුණපා සිටින රෑස්ස කොස් ගහ යට නවතමින් "අත්තම්මේ" කියා කතා කළේය.නමුත් කිසිවකු පෙනෙන්නට නැත.එහෙත් දොර ජනෙල් විවරකර ඇති බැවින් නිවැසියන් ලගපාත ඇතිබව නොඅනුමානය.

මම ගෙදර ප්‍රධාන දොරටුවෙන් ඇතුලුවී ගේ මැද්දෙන් කුස්සිය දෙසට පිය නැගුවෙමි.පොල්අතු සෙවිලිකල සුදු හුණු ගෑ මැටි බිත්ති සහිත සුන්දර නිවහන මට අදටත් මතකයේ මාලිගයකි.මම කුස්සියෙ තනා තිබූ පිලැස්ස මත වාඩිවත්ම අත්තම්මා තරමක් ඈතින් කුඩා පන් මල්ලක් වම් අතින් එල්ලාගෙන මා ඉදිරියට එනු දුටිමි.ඇ ඉතා කුතුහලයෙන් මා දෙස බැලීම මට මවිතයක් නොවීය.

ඊට හේතුව ඇය තරමක් වයෝවෘධ, දුර නොපෙනෙන, කෙස් සියල්ලම සුදුවී, ඉතා කෙට්ටුව හම රැළි වැටී, අඩක් කෙන්ද කුදූ වූ කරුණාබර මවක් විය.

අත්තම්මා මා සමීපයට එත්ම පිලැස්සෙන් නැගිට ඈ ඉදිරියට මම ගියෙමි.ඇගේ ආදර බර සිනහවත් සමගින් අපගේ සන්වාදයට මුල පිරුණි.

- පුතා තනියමද ආවේ? කෝ අම්මා ආවෙ නැද්ද?

+ නෑ අත්තම්මෙ, මම විතරයි ආවෙි.අම්මා ඉරිදාට පොලට යනවනේ.. අාවෙනෑ ඒ හින්ද..

- මම මේ අනෝද ගෙඩි ටිකක් කඩාන් එන්න ගිය පුතේ.නැත්තන් සේරම සත්තු අමුවෙන් කාල දානවා..

+ අපේනම් මුළු වත්තටම ගස් දෙකයි තියෙන්නේ... ඒවගෙ තවම පොඩි ගෙඩි..

- ආහ්, මේක කාපන්කො.. මම දෙන්නටම තේ ටිකක් බොන්ඩ ලෑස්තිකරනකන්... මං වතුර ලිපේ තියලයි යද්දී ගියේ..

(එලෙස කියමින් ඉදුණු ලොකු අනෝදා ගෙඩියක් ඈ මා අත තැබීය.)

ඇය රත්වී දුම් දමන කුඩා සෙම්බු මුටිටියක් කුස්සිය ඇතුලේ සිට රෙදිකඩකින් අල්ලා වකුටුවී ගෙනැවිත් කුඩා මිටි මේස කැබැල්ලක් මත තබා බෙලෙක් කෝප්පයට ගොට්ටෙන් කහට වක්කර සිනි දමා හැන්දක් ගෙන කලතන්නට වින.මා අනෝදය කමින් මෙි සියල්ල නිහඩව විදින්නට විය.

_ ආ පුතේ.මේ තේ එක ටිකක් දනව.ඕක කාලම බීපං..

+ මම තේ නිමිලම තමයි බොන්නෙ අත්තම්මෙ.ටිකක් තිබුනාවෙ..

ඇය කහට කෝප්පයක් ගෙන මා අසලින්ම වාඩිවී වම් අතේ වු සීනි අල්ලෙන් සීනි කා තේ බොමින් මෙසේ අසන්නට වුණි.

- මොනවද දැන් පුතාට දවල්ට කන්ඩ පුළුවන්?

+ මොනව උනත් කමන්නෑ ඉතින්..

- අපි සෝයා මීට් පැකට් එකක් උයල කරවල බදිමු...

+ මම සෝයා වලට ආසයි අත්තම්මෙ.අම්මා කීවට ගේන්නෑ ගනන් කියලා...

- ඒක තමයි, මටත් මේ සමුපකාරෙන් මුද්දරේට ලැබුන එකක්.මම කවදත් සෝයා කන්නෑනෙ පුතේ. ඒත් උබල ආවම උයල දෙන්න කියල හිතාගෙන ගෙනාවා..

ඈ කහට කෝපපයේ තේ මංඩි කලතා මිදුලට වීසිකර මැටි කොරහක් ගෙන වතුර පුරවමින් ආහාර පිසීමට සුදානම් විය.

මා බෙලෙක් කෝප්පයට අත පොවා රස්නය පිරික්සුවෙමි.අත්තම්මාගේ කතාවට වහවැටී මට තේ එක අමතකවුනු බැවින් එය ඉතා සීතලවී හමාරය.එපමණක් නොව කෝප්පය කට පුරා කුහුඹුවන් කීප දෙනෙක්ද දුවමින් සිටී.මම කෝප්පයේ කට අතින් පිහදා එක උගුරට තේ එක බිව්වෙමි.නමුත් එවැන්නක් මා අත්තම්මාට නොඇගුවේ ඇය සුළුදේටද අපකෙරෙහි වඳවන නිසාවටය.

දැනටත් සොයා පැකැට්ටුව ලිපේ තබා ඇති බව මට සුවදින්ම කිව හැක.එනිසාම මම කුස්සියට ගියේ දැඩි සතුටක් හා සෝයා කෑමේ ආශාව තදින්ම හිතේ රදවාගනිමින්ය.බතද තද ගින්නේ ඉදෙමිත් 'තප තප ගා' පෙන දමයි.මා කුස්සිට ඇතුලුවත්ම මා දුටු සැණින් ඇය කරෝල කපමින් මෙසේ කීය.

"මේක ඉදෙනකන් පුතා පතහ ලගට ගින් හිමීට මුන හෝදන් එන්න මගෙ පුතා.නැත්තන් ගිනිමද්දහනේ ආයෙ බයිසිකල් පාගන්නත් බෑ වෙලාගියොත් උබට".

මා කුස්සියෙන් ආපසු ඉවතට හැරී වත්ත පහල පතහට ගොස් මුහුණ හෝදා පැමි‍ණෙන විටත් ඇය බත් බෙදා පිලැස්ස මතම පිලිගන්වා ඇති දැක කටට ඉබේම කෙල උනන්නට විය.මට දැන් පෙනෙන්නේ බත් පිගාන හැර අන් කිසිවක් ම නොව.මා කුස්සියේ පඩියට පය තබත්ම ඇය මෙසේ කීය.

- පුතේ සෝයා එක ටිකක් රොස් උනා අස්රෙද්ද හොයාගෙන එන ටිකට.කොහෙද ඉතින් මට හරියට ඇහැකණ පේනඑකක් යෑ.කාල බලපන්කො කොහොමද කියල...

(මම බත් පිගාන අතට ගමින් මෙසේ කීය)

+ නැ නෑ.. මේ හොදට තියෙන්නේ.මම කැමතිම පැකට් සෝයා වලට තමා ඉතින්..ගමේ එන්නම එපැයි මේව කන්න...

මා එය කියේ ඇගේ මුහුණ දෙස බලමින්ය.ඒ ආදරණීය දෑසීන් ඇගේ හිතේ සතුට මුළු මුහුණ පුරාවටම ලියැවී තිබුණි.මට ඒ රැළි ගැහුණ මුහුණේ සොදුරු හසරැල්ල තාම අදවාගේ ම මතකය.

අැය මද සිනවක් පා මා වෙත මැටි කෝප්පක් දිගුකර "උදේ සම්බෝල ටිකක් තියනව දෙන්නම්" කීය. .මා එතරම් සම්බෝල වලට ප්‍රියකරන අයකු නොවුනද මම එය ප්‍රතික්ෂේප නොකොට ඈ වෙත බත් පත දිගුකලේ ඇගේ සතුට පතාමය

සෝයා අගුරු වී ඇති බව දුටු පමණින්ම දුරකතියා කිව හැක.හොද යැයි කීමට එකදු කැබැල්ලක් තේරීම අණුවනකි.කටේ තිබූ පමණින් කල්කඳුරු තිත්ත රසය.මා උපරිම වැරයෙන් එය විකවාගනිමින් කටේ දමාගත් සෝයා කැබැල්ල හනිකට ලෙගතිමි.බත් මෙරීවී කිරි බතකට ආසන්න ලකුණු පෙන්නුම් කරයි.මා දන්නා තරමින් එයට වතුර වැඩිවී හෝ බත ප්‍රමාණවත්ව හැතපී නැත.කරෝල තරමක් අමුය.සෝයා රොස් වූ නිසාවට කරවලද රොස් වේය යන බයට බැදෙන්නට පෙරාතුවම ලිපෙන් බා ඇති බව මාගේ නිගමනයයි.

නමුත් එවැන්නක් මා ඇයට දශමකවත් දැනීමකට ඉඩක් නොදියයුතු බව එවේලෙහි මගේ යුතුකම හා වගකීම බව මාගේ හිත මටම අවධාරණය කළේය.

මම ඉතා සතුටු ස්වරයෙන් "සෝයා එකනම් මරු, කරෝලත් ගානට බැදිලා" යැයි කීවෙමි.ඇයගේ සිනහවත් සමග "ආයෙත් දවසක වරෙන්කො මම උයල දෙන්න" කියමින් වතුර කෝප්පයක් මා අසලින් තැබීය.

මා බත් කටක් දෙකක් අමුක් කර පිගානේ බත් ඉදිරියට තල්ලුකරමින් බත් කන බවක් අඟවමින් දෙනෙතට කදුළු පුරවා ගතිමි.ඇය එතනින් ඉවත් වූ වහාම පිගානද ගෙන එලියට බැස වට පිලට බත් පිගන නැමුවේ මහත් වේදනාබර හදවතිණි.පිගාන හෝදන අතරතුර මම අත්තම්මාගෙන් මෙසේ අවසර පැතුවෙමි.

+ දැම්ම ගියානන් හරි වගේ නේද අත්තම්මෙ.. නැත්තන් එපා වෙනව අව්ව තද උනාම...

- ඔව් පුතේ..අම්මත් හොයයි වෙලා ගියොත්.කාපුගමන් අනක් අතට යනව නේද ඉතින්?

+ කමන්නෑ අත්තම්මෙ

- ආයෙ වරෙන් ඈ මයෙ පුතා... මේ සෝය ටික අම්මට දීපං මම දුන්න කියල..

සෝයා පාර්සලය දුටු මගේ හද තවත් පිච්චීණි.මම ක්ෂණයෙන් ඈ දණ වැටි අාශිර්වාද ගෙන සෝයා පාර්සලය හැඩලයේ එල්ලා බයිසිකලය මත නැගී ගෙදර බලා සයිකලය පාගන්නට විමි.

නමුත් ගමේ අත්තම්මා එදා කෑම වේලෙහි නියම රසය පිලිබද කිසිදාක නොදත් අතර තවමත් එය මගේ මතක පොත තුල එක් කළු සුදු චිත්‍රයක්ව අමිලව රැකෙනු ඇත...

___________________________________________________________

සෙල්ෆි කවියා (Priyadarshana R.M.A)