යුරෝපයට වදයක් වූ “බෝම්බ සෑදීම”


අහමඩ් හසන් 18 හැවිරිදි තරුණයෙකි. ඔහු අද පසුවන්නේ අත්අඩංගුවේය. වරද ලන්ඩන්හි උමං දුම්රිය මාර්ගයක බෝම්බයක් ඇටවීමය. අහමඩ් හසන් දැන් බ්‍රිතාන්‍යය පුරා අලුත් මුහුනුවරක් ඇති කතිකාවකට මාතෘකාවක් සපයා දී තිබේ.
ත්‍රස්ත ක්‍රියා සදහා බෝම්බ සාදා ගැනීම මෙතරම් පහසු දෙයක් වී ඇත්තේ ඇයි.?
අහමඩ් හසන්ගේ සිදුවීමෙන් නිර්මාණය වුණු කතිකාවතේ මාතෘකාව එයයි.
ඇත්තෙන්ම බෝම්බ සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ඕනෑ තැනකින් පහසුවෙන් ලබා ගත හැකි වීම දැන් දැන් බ්‍රිතාන්‍යයට හා යුරෝපීය රටවලට අති බැරෑරුම් ගැටලුවකට පාර කපා ඇත. මේ හේතුවට ස්තුති වන්නට දැන් දැන් වැඩි වැඩියෙන් මුස්ලිම් අන්තවාදී කල්ලි මෙන්ම මාෆියා කල්ලිද යුරෝපය පුරා තැනින් තැන හදිසි බෝම්බ ප්‍රහාර කරන්නට සමත්ව ඇත.
මේ කතාවේදී පැනනැගුණු වැදගත්ම ගැටලුව වනුයේ ප්‍රබල පුපුරන ද්‍රව්‍යයක් වන triacetone triperoxide (TATP) මෙකී කල්ලි වලට පහසුවෙන්ම මිලදී ගැනීමට මේ රටවල ඇති හැකියාවයි.
පසුගිය වසර කීපය තුළදී සිදුවුණු බෝම්බ පිපිරීම් කිහිපයකදීම මෙම අමුද්‍රව්‍ය යොදාගෙන ඇති බව කියවෙයි. 2015 වසරේ පැරිස් බෝම්බ ප්‍රහාරය, 2016 බ්‍රසල්ස් බෝම්බ ප්‍රහාරය, සහ 2017 මැයි මාසයේදී සිදුවූ මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරය ඒ අතරින් කිහිපයකි.
මේ බෝම්බ ප්‍රහාර වලදී ජීවිත හානිද සැලකිය යුතු සංඛ්‍යාවක් සිදුවී තිබේ.
2017 වසරේ සැප්තැම්බර් මාසයේදීද අහමඩ් හසන් විසින් TATP යොදාගෙන සකස් කරන ලද පුපුරන උපකරණයක් ලන්ඩන් නගරයේ පාර්සන්ස් ග්‍රීන් හි උමං දුම්රියක් තුළ සවි කොට ඇත.
මේ ප්‍රහාරයෙන් කිසිවෙකු මියගියේ නැතත් බොහෝ දෙනෙකුට තුවාල සිදුවී රෝහල් ගත කරන්නට සිදුවිය. පිපිරීම සිදුවන අවස්ථාවේ එහි උන් අය පවසා ඇත්තේ “ගිනි ජාලාවක් මතුවූ බවත්”, “වීදුරු කැබලි රාශියක් ඉහලට විසිවී ගිය බවත්” ය.
පාවිච්චිය නීත්‍යානුකූල වන, විකිණීම හෝ මිලදී ගැනීම තහනම් නොවන සහ ඕනෑම තැනකින් මිලදී ගන්නට හැකි මෙවන් අමුද්‍රව්‍ය ත්‍රස්ත ක්‍රියා සදහා යොදා ගැනීම වලක්වන්නේ කෙසේද යන්න දැන් යුරෝපීය රටවල් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇත.
TATP නම් ද්‍රව්‍යය තුළ අඩංගු වන්නේ ඇතැම් විෂබීජ නාශක වලට හා හිසකෙස් වර්ණ ගැන්වීමට යොදා ගන්නා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ නිවසේ එදිනෙදා භාවිතා වන සුලබ රසායනික ද්‍රව්‍යයකි.
බෝම්බ හදන්නට කළ පළමු උත්සාහයේදී හසන් ප්‍රසිද්ධ වෙලදසැලකින් යකඩ කැබලි ලබාගෙන ඇති අතර, සැකයක් ඇති නොවන පරිදි තම මිතුරෙකුගේ නිවසට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගෙන්වාගෙන ඇත. තවත් අමුද්‍රව්‍යයක් ගෙන්වාගෙන ඇත්තේ ඇමසන් වෙබ් අඩවිය හරහාය.
මේ ආකාරයේ පුපුරණ ගුණයෙන් වැඩි අමුද්‍රව්‍ය වල අලෙවිය පිළිබදව රජයේ ආරක්ෂක අංශ වල අවධානය යොමු තිබිය යුතු බව මේ ගැන අදහස් දක්වන බොහෝ දෙනාගේ මතයයි. 2005 වසරේ ජූලි 05 වන දින සිදුවූ බෝම්බ ප්‍රහාරයට පෙර හිසකෙස් වර්ණ ගන්වන රසායනික වල අසාමාන්‍ය ආකාරයේ වර්ධනයක් සිදුව තිබිණ. මේ ආකාරයේ සැකකටයුතු මිලදී ගැනීම් ගැන අනාගතයේදීවත් අවධානයෙන් සිටිය යුතු බව ඔවුහු පවසති.
කෙසේ වුවද TATP බිහිසුණු අමුද්‍රව්‍යයක් ලෙස කතා බහට ලක් වූවද, එය විශ්වාසයෙන් භාවිතා කළ හැකි පුපුරන ද්‍රව්‍යයක් නම් නොවේ. බොහෝ විට එය අපේක්ෂිත අයුරින්ම ක්‍රියා කරන්නේ නැත. පාර්සන්ස් ග්‍රීන් උමං දුම්රියේ සිදුවීම ඊට හොදම නිදසුනකි.
එහෙත් මේ කුඩා ත්‍රස්ත කල්ලි වල හෝ තනි තනි පුද්ගලයින් අතර බෝම්බ සැදීමේ ජනප්‍රියතම අමුද්‍රව්‍ය ලෙස TATP භාවිතා වනුයේ පුපුරණ ද්‍රව්‍ය සැදීම සදහා ගන්නා වෙනත් අමුද්‍රව්‍ය මේ තරම්ම පහසුවෙන් සපයා ගන්නට නොහැකි නිසාය. එනම් එවැනි අමුද්‍ර ව්‍ය වෙලදපොලට පැමිණීම රජය විසින් සීමා කොට ඇති බැවිනි.
කෘෂි රසායන වලදී බහුලව යොදා ගන්නා ඇමෝනියම් නයිට්‍රේට් තවත් එවන් එක් රසායනික ද්‍රව්‍යයකි. ඇමෝනියම් නයිට්‍රේට් TATP වලට වඩා විශ්වාසයෙන් භාවිතා කළ හැකි ද්‍රව්‍යයක් වන අතර බ්‍රිතාන්‍ය තුළ මෙය වානිජ අරමුණින් බහුලව භාවිතා වන බැවින් එය ලබා ගැනීමද පහසුය.
70 දශකයේදී අයිරිෂ් ජනරජ හමුදාව (Irish Republican Army or IRA) විසින් පුපුරණ ද්‍රව්‍ය තැනීම සදහා ඇමෝනියම් නයිට්‍රේට් බහුලව භාවිතා කරන ලදී. පාකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ හා සිරියාවේ සහ ඉරාකයේ ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්ත කණ්ඩායම් අතර තවමත් මෙය බහුලව භාවිතා වෙයි.
කෙසේ වුවත් වර්තමානයේ යුරෝපය තුළ නම් ඇමෝනියම් නයිට්‍රේට් භාවිතය දැඩිව නිරීක්ෂණය කෙරෙයි. මෙම රසායනික ද්‍රව්‍ය ලබා ගත හැකි වනුයේ නිශ්පාදන ආයතන අතලොස්සක් වෙතින් වීමත්, මේවා යුරෝපය තුළ භාවිතා කිරීමේ නීත්‍යානුකූල අවසරය ඇත්තේ කර්මාන්ත කිහිපයකට පමණක් වීමත් නිසා මෙහි භාවිතය නිරන්තරව නිරීක්ෂණය කිරීමට අපහසුවක් නැත.
එමෙන්ම TATP අමුද්‍රව්‍ය භාවිතය පාලනය කිරීම සදහාද වර්තමානය වන විට නීති රෙගුලාසි හදුන්වා දෙමින් පවතියි. TATP වල අඩංගු අමුද්‍රව්‍යයක් වන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එක්සත් රාජධානිය තුල විධිමත් ලෙස පාලනය කරන අමුද්‍රව්‍ය ලයිස්තුවට ඇතුලත්ය. එම ලැයිස්තුවේ ඇතුලත් අමුද්‍ර ව්‍ය මිලදී ගැනීම, ආනයනය කිරීම, ප්‍රවාහනය කිරීම හා භාවිතයට නිසි නීතිමය අවසරයක් උවමනා වෙයි.
මෙම ද්‍රව්‍යයන්හි සැකකටයුතු අලෙවියක් හෝ සොරකමක් සිදු වුවහොත් වහාම ඒ පිලිබදව පොලිසියට පැමිණිලි කිරීමට එම ද්‍රව්‍ය වල අලෙවි කරුවන් බැදී සිටී.
තත්වය එසේ තිබියදීත් TATP භාවිතය මේ තරම් බහුලව සිදුවීම මගින් හැගවෙන්නේ මේ අමුද්‍රව්‍යයන් අලෙවිය පාලනය කිරීමට එරට රජය යොදාගත් නීති රීති ප්‍රමාණවත් නොවන බවය. මේ අමුද්‍රව්‍ය බෝම්බ නිර්මාණය සදහා යොදා ගන්නා බව නොදන්නා කුඩා වෙලද සැල් හිමියන් වෙතින් කුඩා පරිමාවන්ගෙන් TATP මිලට ගැනීම බොහෝ විට ත්‍රස්ත කල්ලි වල අය සිදු කරයි.
බෝම්බ සෑදීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය පාලනය එක් තනි රටක වගකීමක් පමණක් නොවේ. දේශ සීමා හරහා මෙම ද්‍රව්‍ය නිදහසේ ප්‍රවාහනය කිරීම වැලැක්වීමට සහ ඒවා වැරදි පුද්ගලයින්ගේ අතපත් වීම වැලැක්වීමට ජාත්‍යන්තර සංවිධාන වලද අවධානය යොමු විය යුතුය.
2012 වසරේදී ඇෆ්ගනිස්ථානය තුළ ඇමෝනියම් නයිට්‍රේට් අඩංගු කෘෂි රසායන වලට තහනමක් පැනවූ නමුදු යාබද පාකිස්ථානය තුළින් මේවා නිදහසේ ඇෆ්ගනිස්ථානය තුළට පිවිසීම නිසා එම තහනම නිශ්පල වෑයමක් බවට පත් වී ගියේය.
අනෙක් අත්‍යවශ්‍ය කාරණය වනුයේ බෝම්බ සෑදීම සදහා අවශ්‍ය වන තොරතුරු හා උපදෙස් අන්තර්ජාලය සහ සමාජජාල මාධ්‍ය හරහා හුවමාරු වීම වැලැක්වීමය. ගැටළුවේ එ් කොටසට නම් විසදුම් සෙවීම අතිශයින් අසීරුය. එය පිම්බූ බැලුම් බෝලයක් මිරිකා හරිනවාක් වැනි ක්‍රියාවකි. එක් පසෙකින් මිරිකා හල විට තවත් පැත්තකින් පුපුරා යාමේ අවදානම වැඩිය.
පසුගිය කාල සීමාව තුළ පුපුරණ ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා දැඩි නීති පැනවූ විටදී ප්‍රහාර හා සමූහ මිනිස් ඝාතන සදහා වාහන උපයෝගී කරගැනීම වැඩි වශයෙන් සිදුවීම ඊට හොදම නිදසුනකි.
කෙසේ වුවද යුරෝපය තුළ පමණක් නොව තවත් බොහෝ රටවලද වර්තමානයේ මේ ගැටලුව උද්ගතව පවතී. එනිසා පුපුරණ ද්‍රව්‍ය සදහා යොදාගන්නා අමුද්‍රව්‍ය අලෙවිය පාලනය කිරීම වර්තමානයේ මුලු ලෝකයේම අවධානය යොමු විය යුතු කාරණයක් බවට පත්ව ඇත.

නිම්මි මුදිතා හේරත්
දිවයින 20.03.2018

No comments