නිහතමානී වයලින් රැජින
යම් ක්ෂේත්රයක සුරු විරුකම් දක්වන ප්‍රවීණයන්ට බොහෝ විට පවුල් පසුබිම බලපාන බව නොරහසක්. සංගීත පවුලක උපන් ජෙනීටත් බලපෑවෙ ඒ ධර්මතාවයයි.
ජෙනී ජැන්සන්, 1978 ජනවාරි හත් වෙනිදා නෙදර්ලන්තයේ යුට්‍රෙච් නගරයේ සංගීතඥයින් පිරුනු පවුලක උපන්නෙ වයලීනයක් දෝතින් දරාගෙනම විය යුතුයි. ඇගේ පියා සහ සොහොයුරන් දෙදෙනාත් මාමාත් ප්‍රසිද්ධ සංගීතඥයින්. ඇගේ මව සම්භාවනීය ඔපෙරා ගායිකාවක් ලෙස නමක් දිනා සිටියා. ගහේ කටු උල් කරන්ට ඕන නැහැනෙ, ජෙනීත් ඔවුන්ගේ අඩිපාරේ ගියාට ලෝකයේ අංක එකේ වයලීන වාදිකාව වේයැයි ඔවුන් සිතන්නට නැතුව ඇති.
නමුත් ජෙනීගෙ පවුලේ ඈයින්ට ඇය තුළින් වෙනසක් දකින්නට ඕනෑ වුනා. නමුත් සය හැවිරිදි වියේදීම ජෙනී වයලීනය සුරතට ගනිද්දි හැමෝම එක හිතින් ආශීර්වාද කෙරුවා. ජෙනීගෙ මුල්ම ගුරුවරයා වූ නෙදර්ලන්ත ජාතික වීසන්බීක්, තමුන් දත් දේ පරතෙරටම ඉගැන්වූ බව ඇය කියන්නේ ගෞරව පූර්වකවයි. ඉන්පසු ඇගේ ගුරුතුමා වුනේ 1967 දී එළිසෙබෙත් රැජින සංගීත සම්මානයෙන් පුද ලද සම්භාවනීය සංගීතවේදී බිල්ස් හිෂ්හෝන්. මොහු තම සිසුවිය සංගීත ශාස්ත්රයේ නව මානයකට රැගෙන ගියා. ජෙනී සංගීතයේ අතිශය ගැඹුරු තැන් ස්පර්ෂ කෙරුවෙ මේ ගුරුවරයාගේ මගපෙන්වීම අනුවයි. නමුත් අවාසනාවකට ඔහු මොළයේ පිළිකාවකින් මිය ගිය නිසා මේ දක්ෂ සිසුවියට සිදු වුනේ දරාගත නොහැකි පාඩුවක්. නමුත් ඇයට රුසියානු සංගීතවේදී බෝරිස් බෙල්කින්ගේ මගපෙන්වීම යටතේ වැඩිදුරටත් වයලීන වාදනය ප්‍රගුණ කරගන්නට හැකි වුනා.
මුලින්ම ඉතා සෙමින් නෙදර්ලන්තයේ ප්‍රසිද්ධියට පත් ඇය එංගලන්තයේ බී බී සී ආයතනය සංවිධානය කල ප්‍රසංග මාලාවකට සහභාගි වීමෙන් පසුව නව පරපුරේ දිදුලන තරුවක් ලෙස අභිෂේක ලැබුවා. ජෙනී, නෙදර්ලන්තයේ වසරකට වරක් පවත්වනු ලබන ජාත්‍යන්තර සංගීත සංධ්වනියට නැතුවම බැරි චරිතයක් වුනා. ජෙනී ජැන්සන්ගේ ඒකළ වයලීන වාදන කෞෂල්‍යය යුරෝපය පුරා ප්‍රචලිත වෙන්නට පටන් ගත්තෙ 2001 වසරේ ස්කොට්ලන්තයේ ජාතික තරුණ සංගීත සන්දර්ශණයේදී ඇය පෙන්වූ දක්ෂතා හේතුවෙනුයි. ඇගේ දක්ෂතාවයන් වටහා ගත් නෙදර්ලන්ත සංස්කෘතික අමාත්‍යාංශය 2003 වසරේ එරට උසස්ම කලා සම්මානය වන ඩච් මියුසික් ප්‍රයිස් ත්‍යාගය පිරිනැමුවා.
ජාත්‍යන්තර ප්‍රසංග ගණනාවක දක්ෂතා පෙන්වූ ඇයට 2006 වසරේ ජර්මනියේ බර්ලින් නුවර පවත්වන ලද බර්ලින් ෆිල්හාමෝනික් ප්රසංගයේදී විශිෂ්ඨ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුනා. ශාලාව අතුරු සිදුරු නැතිව පිරී ගිය බවත්, සහභාගී වූ රසවතුන් සංඛ්‍යාව 25000 ඉක්මවූ බවත් වාර්තා වුනා. එ වසරේම ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි වෝල්ට් ඩිස්නි ශාලාවේ පැවති ෆිල්හාමෝනික් ප්‍රසංගයත් ඊට දෙවැනි නැහැ. සංවිධායකයින් පැවසූ ආකාරයට එහි ටිකට් පත් අලෙවි වුනේ උණු කැවුම් ගාණටයි, ඒත් විශ්වාස කල නොහැකි තරම් අධික මිල ගණන් වලටයි. මෙවැනි ප්‍රසංග ගණනාවකින් ලද උණුසුම් රසික ප්‍රතිචාර මැද ඇයට 2009 දී රාජකීය ෆිල්හාමොනික් සමාජයේ ඉහලම ත්‍යාගය පිරිනැමුනා.
“ජෙනී වයන්නෙ ඇයටම ආවේනික සුන්දර ලාලිත්‍යවත් රිද්මයකටයි. එය බොරු රගපෑමක් හෝ අමුතු මවාපෑමක් නොවෙයි. හරියටම ලෝකය ගැන කිසිවක් නොදත් බොළද අහිංසක දැරියනකගේ සුරතල් හැසිරීමක් වගේ අව්‍යාජයි“
2009 වසරේ බීතෝවන් බ්‍රිට්න් සංගීත සංධ්වනියේදී ඇය පෑ දස්කම්, ඒ ප්‍රසංගයේ සංවිධායක පාවෝ ජාර්වි විසින් වර්ණනා කරනු ලැබුවේ එයාකාරයටයි.
ජෙනීට ලෝකයේ ඉතාම ප්‍රසිද්ධ සම්භාවනීය රගහල් ලෙස සැලකෙන නිව්යෝර්ක් හි කානගී ශාලාවේ සහ ලන්ඩනයේ රාජකීය රංග ශාලාවේ නත්තල් සමය අළලා පැවැත්වෙන ප්‍රසංග මාලාවට වසරක් පාසා ආරාධනා ලැබෙනවා. මේවා ලොව මුල් පෙලේ ඉහලම සම්භාවනීය ප්‍රේක්ෂකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන නිසා ඇයට ඉහල මිල ගණන් ගෙවන බව පැවසෙනවා.
මෙහිදී ජෙනී සුරු විරුකම් දක්වන වයලීනය ගැන සදහන් නොකලොතින් ලොකු අඩුවක්. ඇය නිතර භාවිතා කරන වයලීනය 1727 දී ඇන්ටෝනියෝ ස්රැඩිවාරි (1644-1737) නම් කෘතහස්ත ඉතාලි ජාතික වයලීන නිෂ්පාදකයාගේ දෑතින්ම හදාපු කෞතුක වස්තුවක් බව පැවසෙනවා. ඇන්ටෝනියෝ, පදම් කල කළුවර ලී සහ ඇත් දත් භාවිතයෙන් විශිෂ්ඨ තත්වයේ වයලීන 1200 ක් පමණ නිපදවූ බවත්, එයින් 600 ක් පමණ ලෝකයේ විවිධ රටවල කෞතුකාගාර සහ සංගීතඥ සංවිධාන සතුව පවතිනවා. වෙන්දේසි වල මේ වයලීන අලෙවි වන්නේ ඉතා ඉහල මිල ගණන් වලටයි. උදාහරණයක් ලෙස බයිරන් සාමිවරයාගේ මිනිපිරිය භාවිතා කල බව පැවසෙන ලේඩි බ්ලන්ට් නම් වයලීනය වෙන්දේසියකදී අලෙවි වී ඇත්තේ ඩොලර් මිලියන දාසයකටයි. ඇන්ටෝනියෝ තම වයලීන නිපදවූ රහස් ක්‍රමවේදය කිසිවෙකුට නොදී ගුරු මුෂ්ඨියක් ලෙස තබා ගත් බැවින් ඒ රහස් ඔහුගේ මරණයත් සමගම වැළලී ගියාලු. ප්‍රසංග සදහා භාවිතා කිරීමට මේ 1727 ස්ට්රැඩිවයර් බෙරෙක් නම් ඉතිහාසගත වයලීනය ජෙනීට ලබා දී තිබෙන්නේ එහි වත්මන් හිමිකාරත්වය දරන චිකාගෝවේ සංගීතඥ සංවිධානයක් මගින් දස වසරක දිගු කාලීන ණයක් හැටියටයි.
ජෙනීගේ සාර්ථකත්වය පිටුපස සමස්ත ලෝකයාම දකින විශේෂ ලක්ෂණය වන්නේ ඇගේ නිහතමානී හැසිරීම බව පැවසෙනවා. ඇය සෑම මට්ටමකම කලා ශිල්පීන් සමග එකමුතුව කටයුතු කිරීමේ දුර්ලභ හැකියාවෙන් යුතු නිහතමානී වාදිකාවක් බව අවිවාදිතයි. ඇගේ පෞරුෂයේ මේ දුර්ලභ ලක්ෂණය ලෝ පුරා ප්‍රසංග සංවිධායකයනුත්, සහෝදර කලා ශිල්පීනුත් අතර නිතරම වර්ණනාවට ලක් වන කාරණාවක්.
යන්තම් වේදිකාවකට ගොඩ වූ පමණින්, ටෙලියක දෙකක රගපෑ පමණින් හෝ සිනමා පටයක විනාඩි කිහිපයක මුහුණ දැමීමකින් තමුන් මහා කලාකරුවන් යයි සිතාගෙන සිහිය විකල් කරගන්නා අපේ ඇතැමුන්ට මේ සම්භාවනීය සංගීතඥවරිය ලබා දෙන්නේ අමිල ආදර්ශයක්.
-උපුටාගැනීම Facebook-
No comments