ගෝල්ෆේස්...



නිවාඩු දවසේ පුරුද්දට මෙන් මා සවස්යාමය ගෙවාගැනීමට හැරුණේ  ගෝල්ෆේස් මුහුදු වෙරළටය.ඒ වෙත ගිය පලමු දිනම එය ඉතා නිදහස් බවින් උතුරාගිය තැනක් බවට මා හට ඒත්තු ගැනිවිණි.ඒත් අද මුහුදට වඩා වෙරළ ලඟ මගේ ඇස් රස්තියාදු වන බව දැනෙන්නටගත් කාරණා බොහෝමයක් එහි සැබැවින්ම තිබුණි...


මට ටිකක් ඈතීන් පිටියේ මුල්ලක කළු කලිසමට සුදු කමිසය ගලපා ගත් පෙම්වතෙක්, මල් මල් ගවුමක් ඇන්ද පෙම්වතියක් සමග, මල් මල් කුඩයක් ඉහලා කුඩයටම මුවාවි "මුහුදටම කිමිදී ඉර ගිලෙන හැටි" හැකි පමණින් කියාදෙන්නට පෙම්වතා දරන ඒකපාර්ශික වෑයමත්, එය තේරුම් ගැනීමට පෙම්වතිය දරණ ගැඹුරු වෙහෙසත්, ඔවුන්ගේ ඉරියව් වලින් ම මට දුරතියා වූවද වැටහුණි.මුහුද තරමට ම මොවුන්ද කලබල ව සිටියේ ඇයිද මම නමි නොදනිමි.



ඊට යාබදව සිමෙන්තියෙන් තැනූ කොන්ක්‍රීට් බංකුවේ තවත් එක් ජෝඩුවක් තරමක දුරක් තියාගනිම්න්, ඒ දුර මධ්‍යයේ තැබූ කූනිස්සන් කලවම්කල තැම්බූ කඩල මල්ලක් තබාගෙන නිහඬ සන්වාදයක වන්නට විය.විටින් විට දෙදෙනා කඩල කවරයෙන් කඩල ඇට අහුලා ගත්තේ මුහුද කෙලවරේ දෑස් අලවාගනිමින් යම.වැරදීමකින් මෙන් එකවරම දෙදෙනා මුහුණින් මුහුණු බලා සිනාසෙනු විටෙක මම දුටිමි.තවත් විටෙක දෙදෙනාගේම දෑත් කඩල මල්ල තුල දී සිපවැලගත්තේ ඔවුන්ටද නොදැන විය හැක.පෙනුමින් දෙදෙනා අතර තිබූ දුරස් බව ඔවුන්ගේ දැස්වල අසම්භාවිත එකතුවීමක ක්ෂණයක් තුලින් මම අවබෝධ කර ගතිම්.ඒසේම ඔවුන් මනෝභාවාත්මකව උවද ඇත්ම්විට එකම තැනක සිටින්නට ඇතැයි මාගේ විශ්වාසයද විය.
මේ සියල්ල අතරතුර ඔවුනටද මටද සමාන්තර දුරක් පිහිටවාගත් පුංචි පවුලක් මුහුද බලන්නට ආවේ මගේ අවදානය ඒ වෙත යොමුකරමින්ය.සැමියාත්, සිය බිරිඳත් අතේ ඔවුන් ම තනාගත් පිටපත් දෙකක් දෙදෙනා අතදරා හුරතල් කරනුයේ එකිනෙකාට තරඟයට මෙණි.පැමිණි මොහොතේ පටන්ම අරගලය තම පැටවුනට මුහුද පෙන්නවීමටමය.

"මේ මේ.. ආන්න මයෙ පුතා මුහුද, දෝ ගොඩායි නේද? දැක්කද? කෝ කෝ අම්මිට පෙන්නන්න බලන්න" එ් මට මතක එක් වචන පෙලක් පමණකි.පෙර කී පෙම්වතුන් හට කඬල විකුණූ වෙළෙන්දාගෙන්ම මොවුන්ද කඩල මල්ලක් ගෙන පැටවුන්ට කවන්නට විය.සැමියගේද බිරිදගේද ආදණීය දෑස් යාවනුයේ ඇතැම්විට නිරායාසයෙන්ය.එකම කඩල මල්ල දරුවන් දෙදෙනාට කවා අවසන් ව මල්ල හිස්වන තුරු ඔවුන්ට කඩල රස බැලීමට ද අමතක විය.


එකී පවුල මතින් ඇස් උගුල්වාගත්තේ තවත් ජෝඩුවක් කල ගෝරනාඩුවක් නිසාවටය.දෙදෙනා ම එකිනෙකාට ඇගිලි දිගුකර ගනිමින් බැන වදී.පෙම්වතිය හඬමින් තම දෑස් වමතින් පිසගනී.නැවත නැවතත් වැලපෙම්න් බැනවදී.සිය පෙම්වතා අඩිය හප්පමින් ඉන් ඉවතට ගොස් පුපුරමින් මුහුද දෙසම බලාගෙන හිදින්නට විණි.
මා එයින්ද ඇස ඉවතලා පුරුදු මුහුද සමග හෘදයාංගමව දොඩමළු වන්නට වුණි.කාලය ගෙවී අන්දකාරය විසින් මුළු පරිසරයම ගිලගෙන දැනටමත් අවසන්ය.මා තාර ඇතිරූ මහ පාරට හැරුණු කල මගදෙපස වීදි ලාම්පු ලොකුපොඩි කාටත් මඟ පෙන්වයි.මා හට ඇස් අදහාගත නොහැකි විය.

මොහොතකට පෙර විරසක වූ ජෝඩුව එකිනෙකා දෑත් පටලා මුමුණමින් සිනහවද මුසුකොට මා ඉදිරියෙන් විදිය දිගේ ඉදිරියට පිය මනිණු දකින්නට විය.එය හිත කොනක තිබූ එක් ප්‍රශ්නයක් සදහා පිළිතුරක් විය.එනම් ඒම යුවල සදාතනිකවම එවේලෙහි විරසක වූවාද නැද්ද යන්නයි.දැන් එයට පිළිතුරු මා ඉදිරියේම ඇත.

නමුත් මා තවම එක් ප්‍රශ්නයක අතරමන්ව ඇත.එනම් මොවුන් සියලුදෙනාගෙන් කා අතර ආදරය තිබෙන්නට ඇත්ද?

සෙල්ෆි කවියා (Priyadarshana R.M.A.)