ගුවන් යානයක කළු පෙට්ටිය යනු කුමක් ද?

ගුවන් යානයක කළු පෙට්ටිය යනු කුමක් ද?
කළු පෙට්ටිය නැත්තම් බ්ලැක් බොක්ස් කිව්වම අපිට එක් වරම මතක් වෙන්නේ ගුවන් යානා අනතුරක්. ගුවන් අනතුරක් යනු සුළු පටු දෙයක් නොවේ. අනතුරට හේතුව වහා සොයාගත යුතුය නැතහොත් එක් ගුවන් යානයක් අනතුරට පත් හේතුව තවත් අනතුරු රාශියකට මුල විය හැකිය. කළු පෙට්ටියේ මුලික කාර්ය ගුවන් ගමනක සියලුම දත්ත එකරැස් කල සුරැකිව ගබඩා කරගැනීමයි.
ඇත්තටම බ්ලැක් බොක්ස් එක කළු ද?
කළු පෙට්ටිය කිව්වට කළු නැහැ, ගුවන් ගමන් වල මුල් කාලයේදී යානා වල ඉලෙක්ට්‍රොනික උපාංග සියල්ලම පාහේ හැදින්වීමට ”බ්ලැක් බොක්ස්“ යන නම භාවිත උනේ ඒවායේ ක්‍රියාකාරිත්වය පිලිබඳව අවබෝධයක් නැති බැවින්. බ්ලැක් බොක්ස් යන්න පට බැදුණු නමක් පමණක් වන අතර මෙය දීප්තිමත් ගිනි ප්‍රතිරෝධක (Fire Resistant) තැඹිලි පැහැයකින් වර්ණ ගන්වන්නේ අනතුරකින් පසුව පහසුවෙන් සොයා ගැනීමට හැකි වීමටයි.
කළු පෙට්ටියේ ඉතිහාසය
ගුවන් යානා ඉතිහාසයේ මුල් දශක 5ක පමණ කාලයේ සිදු වූ අනතුරු වලට හේතු සෙවීම ඉතාමත් අපහසු කාර්යයක් උනා. ඇසින් දුටු සාක්ෂි ලැබුනත් ඒම සාක්ෂි අනතුරට හේතුව සෙවීමේදී ඉටුකලේ ඉතාමත් සීමිත කාර්යයක්.
1950 දශකයේ සිද්ධ වුනු අනතුරු මුලික කරගෙන ඕස්ට්‍රේලියානු ජාතික ඩේවිඩ් වොරන් (David Warren) විසින් ගුවන් නියමු කුටියේ සිදුවන කතා බහ වාර්තා කිරීමට සහ ගුවන් යානයේ උපකරණ (Instruments) අධීක්ෂණය සඳහා නිපදවන ලද නිර්මාණය වර්තමාන බ්ලැක් බොක්ස් දක්වා විකාශනය අතර 1960 දී සිදුවූ අනතුරක් පාදක කරගෙන රටක් වශයෙන් පළමු වරට ඔස්ට්‍රේලියාව සියලුම වාණිජ ගුවන් යානා සඳහා මෙම පද්ධතිය අනිවාර්ය කෙරුණා. වර්තමානය වන විට මගින් ගෙන යන සහ සියලුම වාණිජ ගුවන් යානා අනිවාර්යෙන් (Compulsory Requirement) මෙම පද්ධතියෙන් සමන්විත විය යුතුය.
බ්ලැක් බොක්ස් එකෙන් එක්රැස් කරන දත්තයන් මොනවද?

සාමන්‍ය මගී ගුවන් යානයක බ්ලැක් බොක්ස් එකක ප්‍රධාන කොටස් දෙකක් තියනවා. ඒවායේ කාර්යයන් එකිනෙකට වෙනස්.
1. ෆ්ලයිට් ඩේටා රෙකොඩර් (Flight Data Recorder- FDR)
FDR එකේ කාර්ය වෙන්නේ ගුවන් යානයේ එංජින් පරාමිතීන්, ගමන් කරන උස, වේගය, දිශානතිය වැනි දත්ත ඇතුළු විවිධ පරාමිතීන් (18-1000+) ගුවන් ගමන ආරම්භයේ සිට අවසානය දක්වා ගබඩා කරගැනීමයි. මුල් යුගයේදී දත්ත පටිගත උනේ චුම්භක පට (කැසට් ටේප් වැනි ) වලට පසුව ඩිජිටල් තාක්ෂණය සමග මුසුව වැඩි දියුණු උනා. අනතුරකට පසුව මෙහි ඇති දත්තයන් විශ්ලේෂණයෙන් අදාළ ගුවන් ගමන පරිගණක ආධාරයෙන් නැවතත් සැකසිය හැකියි. මේ නිසා ඉතාමත් පහසුවෙන් අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ හැසිරීම සොයාගත හැකියි.
2. කොක්පිට් වොයිස් රෙකොඩර් (Cockpit Voice Recorder- CVR)
CVR එකේ කාර්ය වෙන්නේ ගුවන් නියමු කුටිය තුල සිදුවන සංවාදයන් රෙකෝඩ් කරගැනීමයි. නියමුවන් සහ ගුවන් ගමන් පාලන මධ්‍යස්ථාන සමග සිදුවන සංවාද, නියමුවන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය සමග සිදුවන සංවාද ආදිය මීට ඇතුලත්. ඒ විතරක් නෙවේ එංජින් වලින් නැගෙන ශබ්දය, ගුවන් යානයේ රෝද පහලට, ඉහලට එසවීම් වැනි ශබ්ද උනත් රෙකෝඩ් වෙනවා. ඉතා පොඩි ශබ්දයකට උනත් ගුවන්වයානා අනතුරකදී ඉතා විශාල කාර්යක් ඉටු කල හැකියි.
ගුවන් යානයක කළු පෙට්ටිය ස්ථාන ගත කරන්නේ කොහෙද?

FDR සහ CVR බොහෝ ගුවන් යානා වල ස්ථාන ගත කරන්නේ පිටුපස කොටසට(Tail Section) වෙන්න. එයට හේතුව අනතුරකින් ආවම හානියක් වෙන්නේ පිටුපස කොටසට නිසා.
ජලයෙන් පිරි පෙදෙසකට කඩාගෙන වැටුනොත් කොහොමද හොයාගන්නේ?

මේ උපකරණ දෙකම සමගම ජලය තුලදී ක්‍රියාත්මක වෙන බීකන් (Under Water Locator beacon) එකකුත් තියනවා. ජලය මත අනතුරකදී මෙම උපකරණය ස්වයන්ක්‍රියව ක්‍රියාත්මක වන අතර එයින් නිශ්චිත සංඛ්‍යාතයක් ඔස්සේ අඛණ්ඩව තරංග නිකුත් කරනවා. විශේෂ උපකරණයක් මගින් මෙම නිකුත් කරන තරංග ඔස්සේ කළු පෙට්ටියේ ස්ථානය සොයගත හැකියි. අඩි 14000ක තරම් ජලය තුලදී උනත් මෙම උපකරණය ක්‍රියාමත්මක වෙනවා. මෙහි ඇති බැටරියේ ආයු කාලය සක්‍රිය වී දින 30ක් දක්වා පමණක් බැවින් ඊට පසු තරංග විමෝචනය වීම නවතී.
ගුවන් අනතුරකදී කළු පෙට්ටියට හානි නොවන්නේ ඇයි?
බ්ලැක් බොක්ස් එක ඉතාමත් රළු පාරිසරික තත්වයන් වලදී හානි නොවෙන්න තමයි නිර්මාණය කරලා තියන්නේ. ඉතා ශක්තිමත් පිටත ආවරණය වානේ හෝ ටයිටේනියම් ලෝහයෙන් තනා ඇත. උෂ්ණත්වය 1100 C° දක්වාත් (මිනිත්තු 30 දක්වා), ජල පීඩනය අඩි 20000ක ගැඹුරක් දක්වාත්, අනතුරකදී ඇතිවන අධික කම්පනයෙන් සිදුවන හානිය වලක්වා ගනිමටත් හැකිවන අයුරින් නිර්මාණය කර ඇත.
හමුදා ගුවන් යානවල බ්ලැක් බොක්ස් එකක් තියනවද?
ඔව්. වර්තමානය වන විට බොහොමයක් ගුවන් යානා මෙම පද්ධතියෙන් සමන්විතයි.
ගුවන් යානා ඉතිහාසයේ හේතු නොමැතිව වැළලී යන්නට තිබුණු බොහොමයක් අනතුරු වලට පාදක වූ කරුණු කාරණා සොයාගැනීම කළු පෙට්ටිය නිසා හැකියාව ලැබුනා. ඒවගේම ඒ නිසා රැකුණු ජිවිත ගණන අපමණයි.
උපුටා ගැනීමකි.

No comments