අම්මාගේ ශල්‍යකර්මයෙන් පසු
අම්මාගේ ශල්‍යකර්මයෙන් පසු ඇයව බැලීමට නිවසට එන බොහෝ අය නිසාවෙන් මේ දවස් කාර්යබහුලය. අද දහවලේ අවුරුදු විස්සක පමණ යුවතියක් කුඩා බිළිඳෙකුද සමඟ අප නිවසට පැමිණි අතර "නැන්දව බලලා යන්න අක්කේ ආවේ. අම්මා කිව්වා බලලා එන්න කියලා" යැයි පැවසූ නිසාවෙන් මා ඇයට නිවස තුළට ආරාධනා කෙරූ අතර ඉන්පසු ඇය අම්මාවද බලා සුළු මොහොතකින් පිටව යන්නට සැරසුණාය . ඇය කාමරයේ දොර අසලට ගොස් " අම්මා නැන්දව බලලා එන්න කිව්වා නැන්දෙ.... ඒකයි මම ආවේ" යැයි පවසා පිටව ගියාය. මින් පෙර කිසිම දිනක ඇයව මා දැක නැති බැවින් " කවුද අම්මේ ඒ?" යන ප්‍රශ්නය අම්මා වෙත යොමු කෙරූ අතර "පුතාට මතක නැද්ද ...... ඇන්ටිව?" යනුවෙන් ඇසූ නමුත් මට එවන් චරිතයක් මතකයේ නොතිබීම නිසාවෙන් අම්මා බර හුස්මක් ගැනීමෙන් අනතුරුව දිගු කතාවක් කෙටියෙන් මෙසේ විස්තර කරන ලදී.
"ඉස්සර ඔය නංගිගේ අම්මලා, ලොකු අම්මලගෙ ගෙවල් ළඟ කුළියට හිටියේ පුතේ. ඔය නංගිගේ අම්මා මට වඩා ගොඩක් බාලයි. පුදුම ලස්සනයි එයා. දිග කොණ්ඩයක් තිබ්බේ. පුදුමාකාර ලස්සනක් තිබ්බ ගෑණියෙක්. බැඳලා හිටියේ තිරිසනෙක්ව. ළමයි නැහැ කියලා මේ ඇන්ටිට හැමදාම ගැහුවා. කොණ්ඩෙන් අල්ලලා බිම දිගේ ඇදන් යනවලු රෑට. ගහලා ගහලා ගෙදරින් එළියට විසික් කරලා දානවා මමයි තාත්තයි ඇස් දෙකෙන් දැක්කා දවසක්.
පහුවෙනිදා මම ගිහින් කතා කරාම මට විස්තරේ කිව්වේ. ඒ මිනිහට වෙන සම්බන්දකම් ගොඩක් තිබුණා. ඒත් මේ ළමයා වඳ ගෑණියෙක් කියලා හැමදාම ගහන එක එයාට විනෝදාංශයක් වෙලා තිබුණා. මේවා ඇහුවට පස්සෙ ලොකු අම්මා තමා ඒ ළමයව බෙහෙත් ගේන්න ගෙනිච්චේ. ඔයාව අපිට ලැබිලා ගෙදර ආව දවසෙ තමයි ඒ ළමයා මට ඇවිත් කිව්වේ එයාටත් බබෙක් ලැබෙන්න කියලා. " දැන්වත් දේවල් හරි යයි අක්කේ" කියලා මට කියලා ඔයාවත් ඉඹලයි එයා ගියේ. පස්සේ පස්සේ ලොකු අම්මා කිව්වා බබා ලැබෙන්න හිටියත් මේ කෙල්ලට අර මිනිහා ගහනවා කියලා. පුතෙක් ලැබුණේ. ඊට පස්සේ දුවෙක් ලැබුණා. දුව ලැබුණට පස්සේ ගෙවල් මාරු කරලා එයාලව අරන් ගිහින් තිබුණා අර මිනිහා.
ගිහින් මාස තුනකින් ආරංචි වුණා ඒ නංගි ගිණි තියාගෙන කියලා. අපි පුළුවන් විදිහට හොයලා බැලුවත් මොන ඉස්පිරිතාලේද ඉන්නේ කියලවත් හොයාගන්න බැරුව ගියා. පස්සේ ආරංචි වුණා ඒ මිනිහා වෙන ගෑණු කෙනෙක්ව අරන් යන්න ගිහින් කියලා. එතකොටත් මේ කෙල්ල ඉස්පිරිතාලේලු. පස්සේ අපිට කිසිම දෙයක් හොයාගන්න බැරුව ගියා.
ඔය ඔක්කොම වෙලා අවුරුදු පහකින් විතර වගේ පස්සේ ලොකු අම්මට දවසක් රාගම පල්ලියෙදි මේ ළමයගේ අම්මව මුණ ගැහිලා තිබ්බා. ලොකු අම්මව බදාගෙන අඬ අඬ කියලා තිබුණා අර මිනිහා දුවව සැක කර කර දිගටම වද දුන්නා කියලා. කොණ්ඩෙන් තාර පාර දිගේ පවා ඇදන් යන තැනට ඇවිත් තිබුණලු. ඒ ළමයත් ඒ වෙද්දි සිහිකල්පනාව නැහැ වගේලු හිටියේ මේවා නිසාම. එක දවසක් මේ මිනිහා ගහන්න එද්දි "තමුසෙ මගේ කොණ්ඩෙන්නේ අල්ලන්නේ" කියලා කොණ්ඩෙට ලාම්පුතෙල් දාලා ගිණි තියාගත්තලු. කොණ්ඩෙයි ඇස් දෙකයි මූණයි පිච්චිලාලු වටේ අය ගෙදරට එද්දි. ඇස් පේනවා වුණාට හරියට පේනේ නැහැ කියලයි ඒ අම්මා කියලා තිබුණෙ.
ලොකු අම්මා නිතරම කිව්වා මේ කෙල්ල අර මූසල මිනිහව බේරන්න බොරු කියනවා ඇති කියලා. දන්නේ නැහැ පුතේ. කොහොම හරි ඒ මිනිහගේ අක්කලා පුතාව අරන් හදාගෙන පුතා නම් එයාලගේ ලේ තමා කියලා. දුවව ශුවර් නැහැ කිව්වලු. ඒක කිව්ව දාට පහුවෙනිදා ඉඳන් මේ නංගි රස්සාවක් හොයන්න පාරට බැස්සලු. එතනින් පස්සේ ක්ලීනින් වැඩ කරලා තමා දූව හදලා තියෙන්නේ. අන්තිමට බලද්දි දුව යාළු වෙලා තියෙන්නේ මෙහෙ දරුවෙක් එක්කලු. ඒ ලෙවල් කරාට පස්සේ බන්ඳලා දීලා"
අම්මා හති අරී. දීර්ඝ කතාවකට පසු ඇය හෙම්බත්ය. මගේ මනසේ ප්‍රශ්න තොගයකි.
"එතකොට මේ ආවේ ඒ දුවද? අම්මා කොහොමද මේ ළමයව අඳුර ගත්තේ?"
" මේ ළමයව නෙමෙයි මම අඳුර ගත්තේ"
"එහෙනම්?"
දැනට මාස දෙකකට තුනකට කළින් ඔයාට මතකද අපි අර නම් ලැයිස්තුවක් ගන්න ගෙවල් වලට ගියා. ඒ යද්දි ...... පාරේ ගෙදරක අළුතෙන් කුළියට ආපු අය වගයක් පදිංචි කිව්ව නිසා ඒ ගෙදර ඉස්කෝලේ යන පොඩි අය ඉන්නවද කියලා බලන්න ගියාම ආච්චි කෙනෙකුයි, වයස අවුරුදු 55ක විතර ගෑණු කෙනෙකුයි සාලේ හිටියා. ගෑණු කෙනා නම් බිම වාඩි වෙලා ගේ ඇතුළ බලන් හිටියේ. ආච්චි දොරකඩට ආවමයි මම අඳුර ගත්තේ මේ අර .... නංගිගේ අම්මා නේද කියලා. දැක්ක ගමන් මාවත් අල්ලගෙන් ඇස් වල කදුළු පුරවන් බලන් හිටියා. මම ඇහුවා " කෝ අම්මේ ....... නංගි?" කියලා.
අම්මා ඔළුවෙන් අර ඉඳන් හිටපු ගෑණු කෙනාව පෙන්නලා කිව්වා ඔය ඉන්නේ පුතේ නංගි තමයි කියලා. එතකොට හිමීට එයා ඔළුව හැරෙව්වා. අනේ අඳුරගන්න බැහැ පුතේ. කොණ්ඩ ගස් ටිකක් තිබ්බා ඔළුවේ. මූණ පිච්චිලා. මට මතක් වුණේම ඉස්සර දවල්ට ඇවිත් ඔයාව වඩාගෙන හිටපු ලස්සන කෙල්ලව. මොන තරම් ලස්සන කෙල්ලෙක්ද! මගේ පපුව පිච්චිලා ගියා.
මම ඒ වෙලේ කතා කරන්න ගියේ නැහැ පුතේ මට ඇඬෙන නිසා. පස්සෙයි හිමීට කතා කරේ. දූ බැඳලා ඉන්නේ හොඳ දරුවෙක්ව කිව්වා. ඒ නිසයි ආයේ මෙහෙට එයා ඇවිත් තියෙන්නේ. ඒත් ගෙදරින් එළියට බහින්නේ නැහැ. අද ඔය දූව එව්වේ ඒකයි. දන්න කාලේ ඉඳන්ම දුකම වින්ඳ ගෑණියෙක් තමා ඒ. අන්තිමට මුළු ජීවිතෙම එක මිනිහෙක් පුච්චලා දැම්මා" යනුවෙන් කතාව අවසන් කළ අම්මා ඇඳේ අනෙක් පසට හැරුණේ ඇයට වෙහෙස බව මට පවසන්නටය.
ඒ කතාවට සවන් දුන් මොහොතේ සිට ඉන් එහා අන් යමක් සිතන්නට මට අපහසුය. ජීවිතේ මුළු තරුණ කාලයක් බේබදු සල්ලාල මිනිසෙකුගේ පහරකෑම් වලට සහ අපහස කිරීම් වලට උගස් කෙරූ ගැහැණියක් දරාගැනීමේ සීමාව ඉක්මවා ගිය විටෙක තමන්ව ගිණි තබා ගැනීමට තරම් හෙම්බත් වී සිටින අඳුරු රූපයක් මා මනසේ හොල්මන් කරයි.
අම්මා සුව නින්දකය. ඇයව ඇහැරවන්නට මට ලෝබය. එහෙත් තවත් ඇසිය යුතු එක් ප්‍රශ්නයක් මා සතුව ඉතිරිය. එය ඇසිය යුතුමය.
"අම්මේ"
"ඇයි පුතේ?"
අම්මා නින්දෙන් අවදි වෙමින් සිටී.
"අම්මේ"
"කියන්න දරුවෝ"
"ඇයි අම්මලා ඒ ඇන්ටිට එක වතාවක් වත් නොකිව්වේ ඒ මිනිහගෙන් අයින්වෙලා යන්න කියලා?"
අම්මා නිහඬය...
" අල්ල ගත්ත දේවල් දාලා යන එක වැරදියි කියලයි පුතේ අපි ඉගෙන ගත්තේ.. අපිට කියලා දුන්නේ"
"දැන් එහෙම දෙයක් දැක්කොත් අම්මා ඒත් කියනවද අල්ලගෙනම ඉන්න කියලා?"
" සතුටෙන් ඔළුව කෙළින් කරන් ජීවත් වෙනවට වඩා වෙන කිසිම දෙයක් නොවටින බව මම කියනවා පුතේ"
ඇය යන්තමින් හිනැහෙයි......
"අම්මා නිදාගන්න එහෙනම්. මම සාලෙට යනවා"
ඉතින් මට උවමනා කෙරූ පිළිතුරම වෙනත් වචන වලින් අම්මා මට දී ඇත.
ගැහැණුන් පමණක් නොව පිරිමින්ද සතුටෙන් හිස කෙළින් තබා ජීවත් වන මෙන්ම අනෙක් මිනිසුනට එලෙස ජීවත් වන්නට ඉඩ හරින සමාජයක් අපට අවැසිය. වඩා හොඳින් කල්පනා කළහොත් නිවසෙන් ඒ සමාජය බිහි කළ හැකිය!
ඔබව, ඔබේ අභිමානය හෝ සිහින ගිණි තබන්නට කිසිවෙකුට ඉඩ නාරින්න!
ෂෙනූ පෙරේරා
No comments