හිඳගල පුරාණ රජමහා විහාරය එතරම්ම සුන්දරය


ඓතිහාසික මහනුවර නගරයේ මනරම් ප්‍රදේශයක පිහිටි, අතිශ්‍යෝක්තියක් නොමැතිව සුන්දරත්වය විස්තර කළ හැකි ස්ථානයකි හිඳගල පුරාණ රජමහා විහාර භූමිය.
මාගේ #roadtrip සංග්‍රාමයේ 2018/03/29 වන දින ගමනාන්තය බවට පත් වූයේ මෙම සිද්ධස්ථාන භූමියයි.



ඔබ කොළඹ දෙසින් පැමිණෙන්නේ නම්, ගලහ හංදියෙන් බසයෙන් බැස පාරේ අනිත් පැත්තට බට, ගලහ විශ්ව විද්‍යාල බස් නැවතුම්පළෙන් මහකන්ද, දෙල්තොට, ගම්පල දොළුව බස් රථයකින් හිඳගලට ලඟා විය හැකිය. මහනුවර දෙසින් පැමිණෙන්නේ නම්, උක්ත බස් රථයක එක වැරම පැමිණය හැක.
ගලහ හංදියේ සිට සිත් මන බන්දනීය පේරාදෙණිය විශ්ව විද්‍යාලය මැදින් කි.මි. 4ක් පමණ සුන්දර පරිසරයක් ඔස්සේ ගමන් කල යුතු අතර, පන්සලේ ද්වාරය අසලින්ම බසයේ ගමන අවසාන කොට පා ගමනින් පන්සල වෙත ලඟා විය හැකිය.



ද්වාරයේ සිට දිවෙන ඉපැරණි ගල් පඩිපෙළ පෞඩත්වය කියා පාන්නකි. පඩිපෙළ දෙපස ඉදිකරන ලද නිවාස පෙළ වුවද, එම ඓතිහාසිකත්වයට හානියක් නොවන ආකාරයට ඉදිකර තිබීම එක්තරා භාග්‍යකි. පිය ගැටපෙලේ මඟක විශාල සල් ගසක් සහ විශාල කළු ගලක් දැක ගත හැකිය. පඩිපෙල් 100-200 අතර ප්‍රමාණයක් නැඟීමෙන් අනතුරුව එම ඉපැරණි භූමියේ මැද මිදුලට ලඟා වේ.



පාවහන් ගලවන ස්ථානයට වම් අත දෙසින් ලීයෙන් තනන ලද කුඩා දොරටුවක් සහිත කුටියක් දැකිය හැකි අතර, එහි පියස්ස ලෙස ගෙන ඇත්තේ කලින් ඔබට දැකගත හැකි වූ කළු ගලයි. ගලේ හැඩයට එම කුටීරය එක් පැත්තකින් උස් වූ නමුත් ආනතියක් සහිතව නිර්මාණය කොට ඇත.



දකුණු අත දෙසින් විශාල මල් ගසක් ඇති අතර, මාර්තු හා අප්‍රේල් මාස පුරාවට මහනුවර ප්‍රදේශයේ පමණක් පිපී දිලෙන මෙම කහ පැහැති මල් විශේෂය මෙම භූමියට තව තවත් අලංකාරයක් එක් කරයි.
මැද මිදුල නිස්කලංක, නිහඬ, මනස සැහැල්ලු කරන්නා වූ අමුතුම නිහැඬියාවකින් පිරී පවතී. සුළගේ හා බෝ පත් වල සිලි සිලි හඬත් එක්ව ගිලී පවතින නිහැඬියාවට ගුප්තමය අරුතක් එක් කරයි.
මැද මිදුලේ මෑතකදී ඉදිකරන ලද අට විසි බුද්ධ ප්‍රතිමා සුදු පැහැයෙන් දිලෙමින් නවමු මුහුනුවරක් එක් කරනු ලැබේ.



ලීයෙන් නිම කරන ලද පියස්ස සහිත බුදු ගෙය මහනුවර යුගයේ චිත්‍ර වලින් අලංකාර කර ඇති නමුත්, එම චිත්‍ර කාලයාගේ ඇවෑමෙන් හා ස්වාභාවික හේතුන් මත මැකී දුර්වර්ණ වී අපැහැදිලි භාවයට පත්ව තිබේ. නමුත් එහි ඓතිහාසික බව වසර සිය ගණනක පෞඩත්වය හා ලාංකේය ගෘහ නිර්මාණශිල්පය මොනවට පැහැදිලි කරයි.
උඩු මළුව නා බෝධියකින් සමන්විත වන අතර, බෝධිගරය ගල් වැටකින් නිම කර ඇත. බෝධියට වම් පසින් මදක් බෑවුම් වන්නට කුඩා ඇළ පහරක් ගලා බසින අතර, එහි මාළු පැටවුන්, කක්කුට්ටන් වැනි ජලජ ජීවීන්ගේ පැවැත්ම දැක ගන්නට පුළුවන. කුඩා ඇළට කකුල් බහා ලන කල ඔබ කුඩා ශීතකරණයකට බට බව ඉබේටම හැඟී යනු ඇත.



ජලයේ පවතින සිසිල් බව සහ සෞම්‍ය භාවය පැය ගණනාවක් යන තෙක්ම ඔබේ දෙපා සුවදායක කරනු නිසැකය. යම් කිසි ප්‍රාතිහාර්යක් මෙම භූමයේ ගොනුව පවතින බව ඔබට පසක් වන්නේ එවිටය.
කුඩා ඇළ අසළ වේලාවක් ගත කර නැවත ඉහළට දිවෙන පඩිපෙළක් දිගේ පියමනින්නට ඔබට හැකියාව ලැබේ. ගුප්තමය නිහඬබවත් සුළඟ හා සිලිසිලිය මධ්‍යයේ ඉහළට යන කල කුඩා කුඩා අඩි පාරවල් කීපයක්ම දැකගත හැකිය. ඇතැම් පාරවල් අසල ඇති නිවෙස් කරා ගමන් කරනු ඇත. නිවැරදි මාර්ගය සොයා ගැනීමට මා හට සියළුම අඩිපාරවල් දිගේ ගමන් කිරීමට සිදුවිය. ඔබ අතරමං නොවනු පිණිස පඩිපෙළ නැග දකුණු දෙසට විහිදෙන අඩි පාර දිගේ ඉහළට ගමන් කරනු මනාය. මීටර 100 පමණ ඉහළට ගමන් ගත්ම තවත් ගොඩනැගිල්ලක් හමුවේ. අවුරුදු 17 පමණ වයස එම ගොඩනැගිල්ල භාවනා මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරන බව එහි බලා කියා ගැනීමේ කටයුතු සිදු කරන මාවිල්මඩ ප්‍රදේශයේ සිට පැමිණි පුද්ගලයා සඳහන් කර සිටියේය. වයස අවුරුදු 50-60 අතර පසුවන ඔහු කාරුණික පුද්ගලයෙක් වූ අතර, දුර බලන උපකරණයක් පවා ලබා දුන්නේය. කඳු මුදුනේ සිට බලන කල වාසිටිය, මහකන්ද ප්‍රදේශය, මහවැලි ගඟ සහ අම්බුලුවාව කන්ද පමණක් නොව අලගල්ල කන්ද පවා පැහැදිලැව දැක ගත හැකිය. සොබහව සෞන්දර්ය මනාව නැරඹිය හැකි ප්‍රදේශයක් වු නමුදු මධ්‍යහ්නය වු බැවින් කඳු මුදුනට ගිනි ගහන අවු රශ්මිය ඔබව පෙලනු ඇත.
භාවනා යෝගීව සිටීමට හා කවියෙකුට හෝ නිර්මාණශීලී අදහස් ගොනු කරන්නෙකුට අකුරු ඇමිනීමට නොනවත්වා සිතුවිලි ගලා එන අපුර්ව ස්ථානයකි මෙම භූමි භාගය.
ඉද හිට කුඩා කණ්ඩායම් හෝ තනිවම මෙම ප්‍රදේශය නැරඹීමට පැමිණෙන බව භාවනා මධ්‍යස්ථානයේ කටයුතු කරන පුද්ගලයා පඅවසීය. නමුදු ඔවුන් කිසිදු සළකුණක් මෙම මනරම් භූමියේ ඉතිරි නොකර තිබීම ප්‍රශංසා මුඛයෙන් සිහි කල යුතුමය. ඇතැම්විට Dunhill දුම් වැටියක සළකුණක් දැක ගත හැකි වුවද, එයත් කවදා කවුරුන් විසින් භාවිත කරන ලද්දක් දැයි නිශ්චිතව කිව නොහැක.
නැවත පහළට බට අතරමඟ කුඩා ඇළ පහරේ කකුල් බහා වෙහෙස නිවා ගෙන මැද මිදුලට පැමිණ ඓතිහාසික භූමියට සමු දුන්නද, මෑතකචී ඉදි කරන ලද පන්සල් භූමිය දැක ගත හැකිය. නව පන්සල මැදින් ඇති පාර දිගේ පහළට පැමිණ මහා මාර්ගයට පැමිණිය හැකිය.
පන්සලේ වැඩ වසන ස්වාමීන් වහන්සේ එදින වැඩ වාසය නොකල හෙයින්, ඓතිහාසික තොරතුරක් දැන ගත නොහැකී වීම කණගාටුවට කරුණක් වුවද, නැවතත් පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවන්නෙමි.
තවත් මෙවැනිම #roadtrip සංග්‍රාමයකින් ඔබ හමුවන බලාපොරොත්තුව ඇතිව................
“රස්තියාදුවට නව අරුතක්” මේ තවත් එක් රස්තියාදුවක්............

No comments