වසර දෙකකින් නොදුටු ජයක් ගන්න අද තරඟයේ චන්දිමාල් හෙළිකල සැලසුම මෙන්න

ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වෙන තුන්කොන් විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ ශූරතාව දිනා ගැනීමට කණ්‌ඩායම් තුනේම නායකයන් සිහින මවද්දී සමාරම්භක තරගය අද (06 දා) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගය ප. ව. 7.00 ට ආරම්භ වීමට නියමිතය.

කණ්‌ඩායම් දෙකේම නිත්‍ය නායකයන් නොමැති වුව ද ජයග්‍රහණයට උපරිමය කළ හැකි සංයුතියක්‌ ඉන්දියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් නිර්මාණය වී තිබීම තරගාවලියේ උණුසුම වැඩි කරවන්නක්‌ වී තිබේ. කෙසේ වෙතත් රෝහිත් ෂර්මා සහ දිනේෂ් චන්දිමාල් යුගල තම කණ්‌ඩායම පිටිය මැද මෙහෙයවද්දී ඊට සරිලන සැලසුම පුහුණුකරුවන් විසින් සකස්‌ කරන අයුරක්‌ ඊයේ ප්‍රේමදාස පිටියේ පැවැති පුහුණුවීම්වලදී දැක ගැනීමට හැකිවිය.
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී විස්‌සයි විස්‌ස තරගවලදී ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ප්‍රතිශතය 14.28 ක්‌ ලෙස සටහන්වේ. එහිදී ශ්‍රී ලංකාව තරග 14 කදී ජය ගෙන ඇත්තේ තරග දෙකක්‌ පමණි. නමුත් ඉන්දියානුවන් තරග හයකදී එක්‌ තරගයක්‌ පමණක්‌ පරාජය වෙමින් ක්‍රීඩාංගණයේ වාසිය සත්කාරකයන්ට වඩා ලබාතිබීම විශේෂත්වයකි.
ඉකුත් දෙසැම්බර් මාසයේ ඉන්දියාවේදී පැවැති විස්‌සයි විස්‌ස තරගාවලිය 3 – 0 ක්‌ ලෙස ශ්‍රී ලංකාව පරාජය වූ අතර දෙරට අද විස්‌සයි විස්‌ස තරගයකදී මුණ ගැසෙන්නේ 15 වතාවටය. නමුත් ශ්‍රී ලංකාවට එරෙහිව විස්‌සයි විස්‌ස තරගවලදී ජයග්‍රාහී ප්‍රතිශතය 71.42% ක්‌ රඳවා ගැනීමට ඉන්දියානුවන් සමත් වෙද්දී දෙරට මෙතෙක්‌ මුණ ගැසුණ අවස්‌ථා 14 න් ශ්‍රී ලංකාව සිවු වරක්‌ සහ ඉන්දියානුවන් දහවරක්‌ වශයෙන් ජය ලබා තිබේ.
වසර දෙකකින් ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව විස්‌සයි විස්‌ස තරගයක්‌ ජය ගෙන නොමැති අතර ඒ අතරවාරයේ සහභාගි වූ තරග හතම ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබේ. අවසන් වරට ඉන්දියානුවන්ව පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූයේ 2016 වසරේදී පූනේහි පැවැති තරගයකදීය. කෝලි නොමැති ඉන්දියානු පිල මෙහෙයවන රෝහිත් ෂර්මා පසුගිය දෙසැම්බර් මාසයේදීත් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති විස්‌සයි විස්‌ස තරගාවලියේ ඉන්දියාව මෙහෙය වූ අතර එහිදී ඔහු ඉන්දෝර් හිදී පන්දු 43 කදී හයේ පහර දහයක්‌ සහ හතරේ පහර 12 ක්‌ සමඟ ලකුණු 118 ක්‌ ලබා ගත්තේය. නමුත් මෙවර ශ්‍රී ලංකා පිල දක්‍ෂතාවයෙන් මුවහත්ව සිටීම ෂර්මා ඇතුළු කණ්‌ඩායමට අභියෝගයක්‌ වී තිබේ. වත්මන් ශ්‍රී ලංකා විස්‌සයි විස්‌ස කණ්‌ඩායමේ ඉන්දියානුවන්ට එරෙහිව අර්ධ ශතකයක්‌ වාර්තා කිරීමට සමත්ව ඇත්තේ කුසල් ජනිත් පෙරේරාය. මීට මාස හතරකට ඉහත ඉන්දෝර්හිදී ඔහු පන්දු 37 කදී හතරේ පහර 11 ක්‌ සහ හයේ පහර හතක්‌ සමඟ ලකුණු 77 ක්‌ ලබාගැනීමට සමත් විය.
කෙසේ වෙතත් අද පැවැත්වෙන තරගය සම්බන්ධයෙන් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි ශ‍්‍රී ලංකා කන්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පවසා සිටියේ මීට පෙර විස්සිය විස්ස සංචිතයේ නොසිටි තමන් මේ වන විට එම අකෘතියට හැඩ ගැසී ඇති බවයි.
“ඇත්තටම අපි කණ්ඩායමක් විදියට ලොකු සුදානමකින් ඉන්නේ,මොකද අපේ ප්‍රේක්ෂකයෝ ඉස්සරහ අපිට සෙල්ලම් කරන්න තියෙන්නේ,පහුගිය අව්රුද්දක වගේ කාලයක මට T20 කණ්ඩායමේ තැනක් තිබුනේ නෑ,බංගලාදේශ තරඟාවලිය එක්ක තමයි කණ්ඩායමට ආවේ,හැමදෙනාම දන්නවා T20 කණ්ඩායමේ ඉන්න නම් හයේ හතරේ පහර වලින් නිතරම ලකුණු ගන්න පුළුවන් වෙන්න ඕන,මම හිතන්නේ මට ඒ අඩුපාඩුව තිබුන දැන් ගොඩක් දුරට පුහුණුවීම් වලින් ඒ දේවල් හදා ගෙන තියෙන්නේ.”
ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලයේ අනුගමනය කල උපාය ගැනද චන්දිමාල් මෙහිදී අදහස් දක්වා තිබිණි.”ගොඩක් වෙලාවට අපි පහුගිය තරඟවල බැලුවේ වමත් දකුණත් පිතිකරුවෝ එක්ක ඉස්සරහට යන්න,අවශ්‍යතාවය එක්ක ඉස්සරහට ඇවිත් සෙල්ලම් කරන්න අදහසක් තියනවා.අපි පහුගිය දවස් 10 වගේ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පුහුණුවීම් කළා,ඒ නිසා අපිට ලොකු විශ්වාසයක් තියනවා පලවෙනි තරඟය දිනලා තරඟාවලියට හොඳට පිවිසෙන්න පුළුවන් වෙයි කියල.

No comments