පෙට්‍රල් නැතුව කාර් එකක් පැදගෙන කි.මී. 1000 ක් ගිය අපේ හාමුදුරුවෝ



නමින් ඒ හිමි පූජ්‍ය මඩවල උපාලි නම් වෙයි. මතෛක් ඒ නම ප්‍රකටව තිබුණේ සුමධුර හඩින් සදහම් දෙසනා විචිත්‍ර ධර්ම කථිකයාණන්වහන්සේ කෙනකු හැටියටය. මෙතැන් පටන් ඒ නම පරිසර හිතකාමී නවෝත්පාදනයක හිමිකරු ලෙසද ලෝකයට යයි. උන්වහන්සේ හැදූ සූර්ය බලයෙන් ධාවනය වන මෝටර් රථයට ‘පේටන්ට් බලපත්‍රය’ ලැබිම පිළිබඳ කතාවට පසුබිම සැකසුණේ මෙපරිද්දෙනි.
අපේ රටේ නම ලෝකයට ගෙන ගිය බුද්ධ පුත්‍රයාණන් තුළ රට ගැන ලොකු ආදරයක් තිබේ. ඒ නිසාම එහිමියෝ මේ නවෝත්පාදනයේ නිෂ්පාදන අයිතිය දේශීය සමාගමකට දෙන්නට කැමැත්තෙන් පසුවෙති.
බුද්ධ ධර්මය කියන්නේ ආදරයට තව නමකි. මේ අහස් වියන යට ගහකොළ සතා සීපාවාටත්, මිනිසුන්ටත් සම මෙතින් ආදරය කිරීම ගැන බුද්ධ ධර්මය බොහෝ දේ උගන්වයි. පරිසරයත් මිනිසුනුත් ගැන සමකරුණාවෙන් නවෝත්පාදන කාර්යයේ නියැළෙන හිමි නමක් ලංකාවේ නම ලෝකයට ගෙන ගිය බව පසුගිය සතියේ දැන ගන්නට ලැබිණි.
මම උපන්නේ මඩවල ගමේනේ. ‍පොඩි කා‍ලේ මම ඉගෙන ගන්න ‍පොතපතේ වැඩවලට දක්ෂයෙක්.
‍පොතපතේ වැඩ ගැන වගේම ඉගෙන ගන්න දේවල් ගැන වැඩිපුර සොයන්න, අලුත් දේවල් කරන්න මට උනන්දුවක් තිබුණා.
පුංචි පුංචි දේවල් හදන්න, මම ආසා වුණා. පරණ රේඩියෝ ගලවලා හදන්න, අලුත් විදියට හිතන්න මට ඉබේම හැකියාවක් ලැබිලා තිබුණා කිව්වොත් හරි.
පාසල් කා‍ලේ මම විද්‍යා විෂයන් ඉගෙන ගන්න නැඹුරු වුණේ ඒ නිසා. මම විශ්ව විද්‍යාලයට ගියෙත් විද්‍යා අංශයෙන්. විශ්ව විද්‍යාලයෙන් පිටවෙලා මම ගුරුවරයෙක් විදියට කාලයක් වැඩ කළා.
පාස‍ලේ උගන්වන කා‍ලේ පාස‍ලේ දරුවෝ එක්ක එකතු වෙලා නිර්මාණත් කළා.
කසාවත උන්වහන්සේගේ නමත් දිවි පවෛතත් වෙනස් කළ ද කුහුලින් පිරි සිතත් සිත යට සැඟවුණු දැනුමත් වෙනස් නොකළේ ය.
මම පැවිදි දිවියට ඇතුළත් වුණාට පස්සේ ධර්ම දේශනා පවත්වමින් රටේ බොහෝ තැන්වලට යන්න මට පුළුවන් වුණා. මගේ දේශනාවලට ප්‍රසිද්ධියකුත් ලැබුණා. නමුත් දැන් වසර කිහිපයක් තිස්සේ මම බණ්ඩාරවෙල රත්මල්කන්ද ආරණ්‍ය සේනාසනයේ රැඳී සිටිමින් මගේ ශාසනික මෙහෙවර ඉටුකරනවා.
ඒ අතරේ මම මා උගත් විද්‍යාත්මක දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්නටත් උත්සාහයක් දරනවා. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් තමා සූර්ය බලයෙන් ක්‍රියාකරන්නට හැකියාව ඇති වාහනයක් නිපදවීම.
පරිසරය රැක ගන්නට, සොබාදහම හා මිතුරුව දිවි ගෙවන්නට බුද්ධ ධර්මයේ කියැවෙන පණිවුඩය අලුත් පරපුරට කියා දෙන්නටද මඩවල උපාලි හිමියන් සිය නව නිපැයුම් උදව් කරගෙන ඇත්තේය.
සූර්ය බලය ප්‍රයෝජනයට අරගෙන ක්‍රියාත්මක කරවන්න හැකියාව තියෙන නොයෙක් උපකරණ ලෝකයේ නොයෙක් රටවල අය නිපදවනවා. නමුත් අපේ රටේ එවැනි දේට උනන්දුවක් තියෙන බවක් පෙනෙන්නට නෑ.
තවමත් ‍පොසිල ඉන්ධන මත යැපෙන බවක් තමා පෙනෙන්නට තියෙන්නේ. රන්මල්කන්ද ආරණ්‍ය සේනාසනයේ දී ඉරිදා දවස්වලට අපි ආරම්භ කළා ළමා හමුව කියලා වැඩසටහනක්. මේ වැඩසටහනේ දී දරුවන්ට අලුත් අලුත් දේ කරන්නයි අපි අවස්ථාව දෙන්නේ. ළමයි තමන් දන්නා විදියට පුංචි පුංචි දේවල් හදනවා.
මේ වැඩසටහනේ දී තමා මුලින්ම සූරිය බලය යොදාගෙන ක්‍රියා කරන උපකරණ හදන්න පටන් ගත්තේ. දැනට බැටරිවලින් හරි විදුලියෙන් හරි ක්‍රියා කරන්න හදලා තියෙන ගෙදර වැඩවලට පාවිච්චි කරන උපකරණ කිහිපයක්ම සූර්ය බලයෙන් ක්‍රියාත්මක වෙන විදියට වෙනස් කිරීම තමා මම මුලින්ම කළේ. ළමා හමුවට එකතු වුණු දරුවන්ටත් මේ දැනුම මම ලබා දුන්නා.
පැයක් විතර දීර්ඝව දේශනා කරන බණකට වඩා පුංචි දරුවන්ගේ සිත්වලට අලුත් දේවල් කියා දෙන්න මේ වගේ ප්‍රායෝගික වැඩ හරි ප්‍රයෝජනවත් කියලා මට හැඟුණේ පුංචි දරුවන් මේ ක්‍රියාකාරකම්වලට ලොකු උනන්දුවක් දක්වපු නිසා. ඒ නිසාම මට හිතුණා මේ සූර්ය බලයම යොදාගෙන වඩා ප්‍රයෝජනවත් දේ නිර්මාණය කරන්න පුළුවන් නේද කියලා.
මේ වාහනය තමා සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන විදියට සකස් කරපු දියුණුම නිර්මාණය. තනි පුද්ගලයකුට ගමන් කරන්න පුළුවන් වාහනයක් තමා මම නිර්මාණය කළේ. මේ වාහනයේ සියලුම තාක්ෂණික දේවල් සැලසුම් කළේ මම.
වාහනය සකස් කිරීමේ කටයුතුවලට නම් මට උදව් ලැබුණා. සූර්ය බලයෙන් ක්‍රියාත්මක වෙන වාහන ලෝකයේ මින් පෙරත් නිපදවලා තියෙනවා. නමුත් මම හදපු වාහනයේ විශේෂත්වයක් ඇතිවයි මම හැදුවේ. ඕනෑම වාහනයක් ධාවනය වෙද්දී තිරිංග තද කිරීමේදී සහ කඳු නැගීම වගේ දේවල්වලදී ශක්තිය විශාල ප්‍රමාණයක් අපතේ යනවා. ‍පොසිල ඉන්ධනවලින් ලැබෙන ශක්තිය වුණත් සූර්ය බලයෙන් ලැබෙන ශක්තිය වුණත් මේ ශක්ති ප්‍රමාණය අපතේ යනවාමයි.
නමුත් මේ වාහනයේ තිරිංග තද කිරීමේදී සහ කඳු නැගීමේදී අපතේ යන ශක්තිය නැවත ප්‍රයෝජනයට ගැනෙනවා. එවිට වාහනයේ ශක්ති හානිය අවමයි. මම විශ්වාස කරනවා මේ වාහනය සූර්ය බලයෙන් ක්‍රියා කරන අනෙක් වාහනවලට වඩා විශේෂයි කියලා.
නව නිපැයුම්, නව තාක්ෂණය හා කාලය ගත වුවත් මඩවල උපාලි හිමියන් සිය ශාසනික මෙහෙවර අමතක කර නැත.
මම නිපදවපු වාහනය නිසා තමා ගොඩක් දෙනා මාව වෙනත් ආකාරයකට හඳුනා ගත්තේ.
බැලූ බැල්මට මේක වාහනයක් නිපදවීමක් තමා. නමුත් මේක පරිසරයට හිතකාමී වාහනයක්. බුද්ධ ධර්මයේ අපට උගන්වලා තියෙන්නේ පරිසරය සමග සුහදව පරිසරය රැක ගනිමින් ජීවත් වෙන්න කියලා. බුද්ධ ධර්මයේ කියැවෙන ඒ පණිවුඩය වර්තමාන ලෝකයට ගැළපෙන විදියට ප්‍රායෝගිකව ඉදිරිපත් කරන්න මට පුළුවන් වුණා. නව තාක්ෂණික වාහනය සමග තරග කරන්නට පුළුවන්.
“දැනට මම මේ වාහනයෙන් කිලෝමීටර් 1000ක් පමණ ගමන් කර තියෙනවා. වාහනයේ දෝෂ තියෙනවාද කියලා බලන්නයි අපි පරීක්ෂණ අරමුණෙන් එය ධාවනය කළේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්තුමාගේ දැනුවත්භාවය මත එහෙම ගමන් බිමන් යද්දී අපට තේරුණා මගේ නිර්මාණය ඉතාම හොඳ මට්ටමක තියෙන බව…”
තාක්ෂණයක් මේ වාහනයට තියෙනවා. පැයට කිලෝමීටර් 70 ක 80 ක වේගයෙන් ගමන් කරන්න පුළුවන්. සූර්ය බලය නැති රාත්‍රී කාලයට වුණත් ගමන් කරන්න පුළුවන් විදියට ආරෝපණ ගබඩා කිරීමක් සිදු කරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම අවශ්‍ය නම් විදුලියෙන් ආරෝපණය කර ගන්නත් පුළුවන්.
පරිසරයට හා සොබාදහමට හිතකාමී මේ නව නිපැයුමට පේටන්ට් අයිතිය ලබන්නට මඩවල උපාලි හිමියන්ට හරියටම අවුරුදු දෙකක කාලයක් ගත විණි. ඒ පිළිබඳ කතාවද අපූරුය.
“අවුරුදු දෙකකට කලින් වාහනය හැදුවට පේටන්ට් බලපත්‍රය මට ලැබුණේ පසුගිය ජනවාරි මාසයේදීයි. මොකද පේටන්ට් අයිතිය අපට ලබා දෙන්න කලින් ඒ මහත්වරු ලෝකය වටේම තොරතුරු ඇසුරින් හොයා බලනවා මීට සමාන නිර්මාණයක් ලෝකෙ වෙන කොහේ හරි මීට පෙර කර තියෙනවාද කියලා.
මීට ටිකක් සමාන විදිහක් පෙන්වන රථයක් පෙනිසියුලාවේ හදලා තිබුණා. ඔවුන් මට කිව්වා ඒ රථයට වඩා මේ රථය වෙනස් වෙන හැටි කරුණු දක්වලා පැහැදිලි කරන්න කියලා. පල්ලම්වල යන විට බැටරිය චාජ් වෙන ක්‍රමවේදයකුත් මේකේ ඇතුළත් නිසා මම එය පදනම් කරගෙන මේක අලුත්ම නිර්මාණයක් බව ඔප්පු කළා.”
“මේ නිර්මාණය තවදුරටත් වැඩි දියුණු කර වෙළෙඳ‍පොළට නිෂ්පාදනය කරන්න දැනටම ඉන්දියාව අවසර ඉල්ලනවා. නමුත් මම කැමැතියි ලංකාවේ කවුරු මෙය නිෂ්පාදනය කරන්න ඉදිරිපත් වෙනවා නම් එතකොට එය අපේ රටේ වාහනයක් වෙනවානේ”
මඩවල උපාලි හාමුදුරුවන්ගේ මේ අලුත් නිර්මාණයෙන් පරිසරයටත් සිරිලක සැමටත් නව මාවතක් විවර වනු දැකීම අපේ පැතුමයි.

No comments