මෙන්න කැබිනට් සංශෝධනයේ පුටු මාරුව වෙන හැටි - මංගල, චම්පික සහ රාජිතගේ ඇමති දූර කිසිදු වෙනසක් නෑ - හරින්ට විදේශ - cabinet reshuffle



යහපාලන ආණ්ඩුවේ යෝජිත කැබිනට් සංශෝධනයට අදාළ එක්සත් ජාතික පක්ෂයේ ලැයිස්තුව 22 වනදා සන්ධ්‍යාවේ ජනාධිපතිවරයා වෙත යොමුකළ බව එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

එජාප ආරංචිමාර්ග හරහා වාර්තා වන ආකාරයට කැබිනට් සංශෝධනයට අදාළ අවසන් ලියවිල්ල සැකසීම එක්සත් ජාතික පක්ෂයට ද අභියෝගයක් වී ඇති අතර ඒ මෙතෙක් අමාත්‍යංශ දරමින් විවිධ දුෂණ අක්‍රමිකතා සහ අක්‍රීය ලෙස අමාත්‍යංශ හසුරවන ලද අමාත්‍යවරුන් වෙත එම අමාත්‍යධුර නැවත ලබානොදීමට කටයුතු කිරීමට සිදුව තිබු නිසාය.



එසේම එම තීරණයට ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා පොදු එකඟතාවක් පලවී තිබු මුත් පළාත් පාලන මැතිවරණයෙන් පසුව එජාපය තුළ ඇතිවූ මතගැටුම් හේතුවෙන් මෙම ඇමති විෂය නම් කිරීම ඉතා දුෂ්කර කටයුත්තක් වූ බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.




SF ට පොලීසිය

එසේම සරත් ෆොන්සේකා අමාත්‍යවරයා වෙත මෙතෙක් ලබාදී තිබූ ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යධුරය වෙනුවට නීතිය හා සාමය අමාත්‍යාංශය ඔහුට පිරිනමන්නට එජාප නායකත්වය තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

සරත් ෆොන්සේකා අමාත්‍යවරයා නීතිය හා සාමය විෂය තුළ උස් පහත් භේදයකින් තොරව නීතිය අකුරට ක්‍රියාත්මක කිරීම සඳහා එම අමාත්‍යංශය මෙහෙයවනු ඇති බවය. එසේම ඒ හරහා පසුගිය පාලක රෙජීමයේ දුෂිතයන් සහ විවිධ අක්‍රමිකතා වලට සම්බන්ධ චෝදනා ලැබුවන්ට අදාළව නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවීම සම්බන්ධව ආණ්ඩුවට එල්ලවී ඇති චෝදනා සමනය කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇති බවය.

අලුත් ඇමතිධුර 5ක්

මීට අමතරව අමාත්‍යධුර 05ක් විශේෂ අධීක්ෂණ අමාත්‍යවරුන් ලෙස පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය නිර්දේශ කර ඇති බවත් ඒ තුළ එජාපය නියෝජනය කරමින් හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, සුජීව සේමසිංහ, රවීන්ද්‍ර සමරවීර යන 4 දෙනා යෝජනා කර ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඉතිරි එක් අමාත්‍යධුරය වෙන්කර ඇති බවත් වාර්තා වෙයි.

ලක්ෂ්මන් - කබීර් සුහද මාරුවකලු


මේ අතර එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ අදාළ අමාත්‍ය මණ්ඩල විෂය මාරුව හමුවේ ඇතැම් එජාප අමාත්‍යවරුන් අතර ඇමති විෂය සුහද මාරුද සිදුවූ බවය. එහිදී උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ලගේ එම විෂය කබීර් හෂීම් අමාත්‍යවරයා වෙතත් මෙතෙක් කබීර් හෂීම් අමාත්‍යවරයා දැරූ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විෂය ලක්ෂ්මන් කිරිඇල්ල වෙතත් හුවමාරු කරගෙන තිබෙන බවය.
මංගල, චම්පික සහ රාජිතගේ වෙනසක් නෑ

එසේම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ අමාත්‍යධුරවල කිසිඳු වෙනසක් නොකළ යුතු බවටද එජාප නායකත්වය තීන්දු කර ඇති බව වාර්තා වෙයි.

හරීන්ට අලුත් කොටසක්

තවද විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට එම විෂයට අමතරව විදේශ රැකියා අමාත්‍යධුරය ලබාදීමටද කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

දුමින්දගේ ඇමතිකම යාපාට

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මෙතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායකගේ එම අමාත්‍යංශ විෂය යෝජිත කැබිනට් සංශෝධනයේදී වෙනස් වීමට නියමිත බවය.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යංශය අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා වෙත පවරා ප්‍රියදර්ශන යාපා දරන ආපදා කළමනාකරණ අමාත්‍යංශය දුමින්ද දිසානායක වෙත ලබාදීමට යෝජනා වී ඇති බව එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

(උපුටාගැනීම minigosip.gossip99. com)

No comments