එක්තරා හෝටලයක සේවකයෙක්...

එක්තරා හෝටලයක සේවකයෙක් ඉතා සුළු වැටුපක් යටතේ සේවයෙහි නිරතවන අතරතුර ඔහුගේ මව බොහෝසේ රෝගී වෙනවා. ඒ හේතුවෙන් ඔහුට සෑම මසකම වෙනදාට වඩා වැඩි මුදලක් මවගේ බෙහෙත් සදහා වැයකිරීමට සිදුවෙනවා. නමුත් ඒ සඳහා ඔහුගේ වැටුප ප්‍රමාණවත් වන්නේ නැහැ.
දෙමසක් පමණ හිතවතෙකුගෙන් ණයට ඉල්ලාගත් නමුත් එයද දිගින් දිගටම කල නොහැක්කක් වුණා. වැටුප් දිනයේදී වැටුප් වැඩිකරන මෙන් මුදලාලිගෙන් ඉල්ලීමක් කිරීමට සිතාගත්තද, අඩු පඩියට වුවද සේවයට පැමිණීමට අය ඕනෑ තරම් අැති නිසා එහි අවදානම් සහගත බවද හිතේ කැකෑරෙන අතරතුරම ඔහු වැඩට ආවා.
එදින එක්තරා පුද්ගලයකු උදෑසන ආහාරය ගැනීමට එම හෝටලයට පැමිණියා. ලබා ගත් ආහාර අනුභව කිරීමෙන් අනතුරුව මුදල් ගෙවීම සඳහා පැමිණි එම පුද්ගලයා කැෂියර් කූඩුවේ සිටි මුදලාලිගෙන් මෙසේ විමසන්නට වුනා..
× මුදලාලිමද මේ හෝටලේ අයිතිකාරයා...?
÷ ඔව් මහත්තයා. ඇයි මොනවත් ප්‍රශ්නයක් ද?
තරමක තැතිගැනීමකින් යුතු ස්වරයෙන් විමසූ මුදලාලි දෙස බලා සිනාමුසු මුහුණින් යුතු එම පුද්ගලයා නැවතත් පැනයක් නැගුවා...
× එතකොට කවුද මේ කෑම උයන්නේ...?
÷ ඒ මොකද මහත්තයා.
× නෑ... මට දැනගන්න උවමනායි .

÷ අර වීදුරුවෙන් එහා පැත්තේ ගෑස් ලිප ලග උයනවා පේන්නේ මගෙ ගෝලයා මහත්තයෝ.
× හැබෑද?
÷ ඔව් මහත්තයා. මොකක් හරි අඩුපාඩුවක් වත්ද?
× නෑ මුදලාලි. කෑම ටික නම් හරිම රසයි. කිසිම රසකාරක කිසිදෙයක් නැතිව මගෙ බිරිඳවත් මේ තරම් රසට, පිලිවෙලට, පෙනුමට කෑම හදලා මම කාලා නෑ. ආයෙත් දවසක ටවුමට ආවොත් මම එනවමයි කෑම ටිකක් කාලා යන්න.
÷ බෝම ස්තුතියි මහත්තයෝ.
× මුදලාලි ස්තුති කරන්න ඕනි මට නෙමේ . මුදලාලිගේ ගෝලයට. ඒ ගෝලයා තමයි මුදලාලිගෙ පැවැත්මෙ තීරකයා..
÷ ඒක හැබෑව නෙවෙන්නම් මහත්තයෝ..
× එහෙනම්... ආයෙ දවසක එන්නම්කො මුදලාලි..
÷ හොඳමයි මහත්තයා
සන්තෝෂයෙන් පිටව යන එම පුද්ගලයා නොපෙනී යනතුරුම එදෙස බලා සිටි මුදලාලිගේ හිතේ ඔහුගේ වචන දෝංකාර දෙන්නට වුනා..
රාත්‍රියේ වැඩ නිමවී නිවසට යන්නට සූදානම්වූ ගෝලයා දෙගිඩියාවෙන් යුතුව මුදලාලි හමුවන්නට පැමිණියේ මවගේ අසනීපයත් ඒ හේතුවෙන් තමන් පත්ව ඇති අපහසුතාවන් නිසා පඩි මුදල වැඩි කරදෙන මෙන් ඉල්ලන්නටත් සිතාගෙනයි.
වෙනදාට වඩා ලෙන්ගතු කමකින් හා සිනාවකින් යුතුව ගෝලයා දෙස බැලූ මුදලාලි " මලයා පඩි දවසත් හරි ඔන්න.. අද පඩිය අරන්ම ගියානම් හොද නැද්ද..."යි අසනවිට ගෝලයා පුදුමයෙන් යුතුව මුදලාලිගේ මුහුණ බැලුවේ වෙනදාට පඩි දිනය පසුව දින හතරක් පහක් ගිය පසුත් ඔහුම මතක් කරන තුරු මුදලාලි පඩිය දීම පසුකරන නිසා.
පඩි මුදලට අමතව රුපියල් 5000ක් වෙනම අතට ලබා දුන් මුදලාලිගේ වෙනස ගෝලයාගේ සිතට සතුටකුත් පුදුමයකුත් ඇති කරන්නට සමත් වුනා..
ඒත් සමගම මුදලාලි මෙසේ පැවසුවා.
÷ පහුගිය දවස් වල අම්මත් අසනීප උනා කිව්ව මතකයි.. සල්ලි එහෙම හදිසියක් උනොත් මට කියපන් මලයා..
× හොඳයි මුදලාලි.. ..බෝම පින්.. මම එහෙනම් ගිහින් එන්නම්..
÷ හෙට පාන්දර එනවනේ වැඩට උඹ..
× අනේ නැතුව මුදලාලි. මම එනවා..
÷ මගේ පරණ මෝටසයිකලේ අපි හදලා ගමු උඹේ ගමනට. ඔය පුට් සයිකලේ ගමන රෑට අමාරුයි උඹට.
මුදලාලි දෙස බලා යාන්තමින් සිනාසුනු ගෝලයා "ගිහින් එන්නම් මුදලාලි"යි කියමින් ඔහුගේ සුපුරුදු පුට් සයිකලයට නැගී අඳුරේ නොපෙනී ගියත් මුදලාලිගේ වෙනස්වීමත් තමන්ට අතමිටට කීයක් හෝ වැඩිපුර ලැබීමත් නිසා ඔහුගේ හදවත සතුටින් ආලෝකමත්ව තිබුනා...
----------------------------------------------------------------
ඇතැම් යහපත් පුද්ගලයෙකුගේ වචන කිහිපයකින් කෙනෙකුගේ සිතට සන්වේදී බවක් ඇතුළත් කරන්නටත් එමගින් තවත් කෙනෙකුගේ ජීවිතයට සුගතිසම්පන්න යමක් සිදුකරන්නටත් හැකිය.
යමෙකුගේ හැකියාවක් හැදියාවක් අගයන්නට අපට වැය වන්නේ වචන කිහිපයක් පමණි.අගයකළ යුතු තැතැත්තාව දෙවරක් නොසිතා අගය කරන්න.එවිට ඔහුට හෝ ඇයට හිමිවිය යුතු පුද සත්කාර නිතැතින්ම හිමි කර දෙන්නට ඔබට හැකි වනු ඇත.. වැදගත් වන්නේ ඔබගේ යහපත් දෘෂ්ටියත් චේතනාවත් පමණි..
සෙල්ෆි කවියා(Priyadarshana R.M.A.)